"ඥානෝපදේශය (දහම් පාසල්) නිර්දේශ පාදක විෂය ඉගැන්වීමක් නොවේ; ධර්මදානය යි" - නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය කියයි: "සක්‍රමේන්තු පෙන්වා දරුවන් 'බ්ලැක්මේල්' නොකරන්න"
"Catechesis is not a school subject a teacher imparts information to students" - Archbishop Rino Fisichella at the Publication of the Directory of Catechesis
සේයාරුව යූකාන් ප්‍රවෘත්ති සේවයෙන් |
(2020 ජූලි 17)
"නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සභා ජීවිතයේ ඉතා ප්‍රීතිමත් අවස්ථාවකි."
නව ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් මෙසේ කියා සිටියේ ධර්මෝපදේශය පිලිබඳ නව උපදේශ සංග්‍රහය නිකුත් කිරීම නිමිත්තෙන් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය වතිකානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉකුත් ජුනි 25 වැනිදා ය.
මේ උපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන්නේ 1971 දී නිකුත් කරන ලද "පොදු ධර්මොපදේශ උපදේශ සංග්‍රහයටත්" 1997 දී නිකුත් කෙරුණු "ධර්මෝපදේශය සඳහා පොදු උපදේශ" මාලාවටත් බොහෝ කාලයකට පසුව ය. එම උපදේශ සංග්‍රහයන් නිකුත් කරන ලද්දේ පුදැදුරුවරුන් පිලිබඳ සසුන් පර්ෂදය විසිනි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් ධර්මෝපදේශය පිලිබඳ වගකීම ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාව වෙත පවරන ලදී. මෙම ධර්මෝපදේශ උපදෙස් සංග්‍රහය නිකුත් කෙරෙන්නේ එයිනුත් වසර දහයකට පමණ පසුව ය.
"ධර්මෝපදේශය ඉගැන්වීම" (Catechesis) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ 'දහම් පාසල් ' යනුවෙන් හැඳින්වෙන ඉගැන්වීමට ය. එය මීට වසර 30කට ඉහත පෙර ලංකාවේ කතෝලික ජනතාව විසින් හඳුන්වන ලද්දේ 'ඥානෝපදේශය' හෝ 'උපදේශ පන්ති' යන කිතුනුවන්ට අනන්‍ය නාමයෙනි. 'දහම් පාසල්' විසින් අද ඉටුකෙරෙන්නේ කතෝලික සභාවේ 'ඥානෝපදේශය' හෙවත් 'ධර්මෝපදේශයේ' (Catechesis) දූත මෙහෙවරයි.
නව උපදේශ සංග්‍රහය මගින් සභාවේ අරමුණ වන්නේ ඥානෝපදේශය කරන ආකාරයත්, ඥානෝපදේශ ගුරුවරුන් දෙස බල ආකාරය සේම ඥානෝපදේශය හෙවත් දහම් පාසල් ඉගැන්වීම දෙස බලන ආකාරයත් යන සියල්ල වෙනස් කිරීම බව එය විශ්ලේෂණය කරන සසුන් විශ්ලේෂකයෝ පවසති.
සමස්ත ඥානෝපදේශයේ ම අරමුණත් හදවතත් විය යුත්තේ ධර්මදානය ම බව එම ලියැවිල්ලෙන් අවධාරණය කෙරේ "ඥානෝපදේශය, ඉගැන්වීමේ ආකෘතියෙන් ඉවත් කරගෙන, සුබ අස්න ප්‍රකාශ කිරීම එකම කැඳවීම වන සභාවේ සමස්ත සැලැස්ම තුළ එය ස්ථාන ගත කිරීම" මෙම උපදෙස් සංග්‍රහයේ එක අරමුණක් වූ බව එය සම්පාදනය කිරීමට දායක වූ ජොඑල් මිලිනාරියෝ කියා සිටියේ ය. ඔහු ප්‍රංශයේ පැරිස් නුවර 'කතෝලික ආයතනයේ' (Institut Catholique) දහම් සේවා ධර්මොපදේශ අංශයේ අධ්‍යක්ෂවරයා ය.
"ඥානෝපදේශය යනු ධර්මදානය යි. ධර්මදානය යනු දහම සම්ප්‍රේෂණය කිරීම නොවේ" (Evangelizing is not primarily about transmitting doctrine)
"බොහෝ කාලයක් පුරා ඥානෝපදේශයේ අවධානය යොමු වූයේ ඇදැහිල්ලේ අන්තර්ගතය ගැන දැනුම්වත් කිරීමත් ඒ අරමුණ කරා ලඟා වීම සඳහා ශික්ෂණ ශාස්ත්‍රීය ක්‍රමවේද භාවිත කිරීමත් වෙත ය. මෙහි අතිශය වැදගත් ම මොහොත, එනම් ,ඇදැහිල්ල වෙනුවෙන් තීරණය කිරීම සහ ඒ වෙනුවෙන් කෙනෙකු ගේ අනුමැතිය ලබා දීම, එම ක්‍රියාවලියේ දී අත්හැරිණි" යි උපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේ දී රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි කියා සිටියේ ය."ධර්මදානය යනු මූලික වශයෙන් දහම සම්ප්‍රේෂණය කිරීම නොවේ; එහි අරමුණ වන්නේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විද්‍යමාන කිරීම සහ උන්වහන්සේව ප්‍රකාශ කිරීම යි,"යි එතුමා අවධාරණය කළේය.
"ඥානෝපදේශය ධර්ම දූතික සිත්හැරීමේ ක්‍රියාවලියක් තමන් වෙත අයිති කර ගැනීම අත්‍යවශ්‍ය ය. එසේ ම, එය ධර්ම දානයේ දිශාව වෙත ගමන් කිරීමත් අත්‍යවශ්‍ය වන බව උපදේශ සංග්‍රහයේ කර්තෘ වරු පවසති. මේ නිසා, අරමුණ විය යුත්තේ, ඥානෝපදේශීය ගමන ධර්මදානයේ උත්තරීතරත්වය යටතේ ස්ථාන ගත කෙරෙන "කැරිග්මා කේන්ද්‍රීය' ඥානෝපදේශයකි. මන්ද ශ්‍රේෂ්ඨත්වය හිමි වන්නේ ධර්ම දානයට ය. ඥානෝපදේශයට නොවේ. "
"ඥානෝපදේශයේ අදහස විය යුත්තේ කිතුනු ප්‍රේමය වෙත යන්නට මග පෙන්වීමත්, එය වැළඳගත් තැනැත්තන්ට ධර්මදානීය ශ්‍රාවකයන් වන්නට මග පෙන්වීමත් ය." - රයිනෝ ෆිසිශේල්ලා අගරදගුරු හිමි
"කෙටියෙන් පවසන්නේ නම්, ඥානෝපදේශයේ අදහස විය යුත්තේ කිතුනු ප්‍රේමය වෙත යන්නට මග පෙන්වීමත්, එය වැළඳගත් තැනැත්තන්ට ධර්මදානීය ශ්‍රාවකයන් වන්නට මග පෙන්වීමත් ය," යි ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි පැහැදිලි කෙළේය.
ඩිජිටල් යුගය ග්‍රහණය කර ගැනීම
නූතන ජන සන්නිවේදන මාධ්‍ය හා ක්‍රමවේද ඥානෝපදේශය සඳහා යොදා ගැනීමේ වැදගත් කම ගැන ද නව නව ධර්මෝපදේශ උපදේශ සංග්‍රහය කතා කරයි.
"ධර්මොපදේශයේ ධර්ම දූතික මානය ගැන අවධාරණය කරද්දී ලොව පවතින නව ප්‍රභේදයන් සහ නව 'භාෂා' තුළ කල්පනා කිරීම ද අවශ්‍ය වේ" යි අගරදගුරු හිමි කියා සිටියේ ය. "විශේෂයෙන් ම ඩිජිටල් යුගය විසින් ගෙන එන ලද වෙනස්කම් කෙරෙහි උපදේශ සංග්‍රහය අවධානය යොමු කර තිබේ. මෙම ඩිජිටල් ප්‍රපංචයන් ඇගයීමට විශ්වාසයේ ගුරුවරුන් අපොහොසත් වන්නේ නම් බොහෝ දෙනෙකුට ඥානෝපදේශය නොවැදගත් වන්නට ඉඩ තිබෙන බවට ද උපදේශ සංග්‍රහය අනතුරු අඟවයි" යි අගරදගුරු හිමි සඳහන් කලේ ය.
ඥානෝපදේශය (දහම් පාසල්) නිර්දේශයක් අනුව කරන විෂය ඉගැන්වීමක් නොවේ.
මෙතෙක් කල් ඥානෝපදේශයේ 'ගෙල සිර කල' ග්‍රහණ කිහිපයක් තිබෙන බව ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි පෙන්වා දුන්නේය. "ධර්මදානීය සිත්මාරුවක් අවශ්‍ය වන්නේ එම ගෙල සිර කරන ග්‍රහණ වලින් එය මුදා ගැනීමට" බව එතුමා කියා සිටියේ ය.
"ප්‍රථම 'ගෙල සිර කරන ග්‍රහණය' නම්, එය පාසල් විෂයක් ලෙස සලකා කටයුතු කිරීම යි. එනම් ස්ථිර ලෙස සකස් කරන ලද දින දර්ශනයකට අනුව, ස්ථිර විෂය නිර්දේශයකට අනුව ගුරුවරයකු හෝ ගුරුවරියක විසින් සිසු සිසුවියන්ට කෙරෙන විෂය ඉගැන්වීමක් ලෙස සැලකීමයි."
එය සාවද්‍ය එළඹුමක් බව එතුමා කියා සිටියේ ය.
"සභා සංඝය තුළ නොහොත් විශ්වාසීය සංඝය තුළ ජේසු සමිඳුන් සමග පෞද්ගලික සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමටත් ඊට සමගාමීව, දයාවේ, කරුණාවේ සහ ප්‍රේමයේ ක්‍රියා ඔස්සේ දෘශ්‍යමාන කිතුනු ජීවිතයක් ගොඩ නගා ගැනීමටත් පුද්ගලයකුට මග පෙන්වීම ඥානෝපදේශ ක්‍රියාවලිය මගින් සිදුවිය යුතු ය" - ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි
ඒ වෙනුවට, සිය සභා සංඝය තුළ නොහොත් විශ්වාසීය සංඝය තුළ ජේසු සමිඳුන් සමග පෞද්ගලික සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම වෙත පුද්ගලයකුට මග පෙන්වීම ඥානෝපදේශ ක්‍රියාවලිය මගින් සිදුවිය යුතු ය. ඊට සමගාමීව, දයාවේ, කරුණාවේ සහ ප්‍රේමයේ ක්‍රියා ඔස්සේ දෘශ්‍යමාන කිතුනු ජීවිතයක් ගොඩ නගා ගැනීමට එම පුද්ගලයාට මග පෙන්වීමත් ඥානෝපදේශ ක්‍රියාවලියෙන් සිදුවිය යුතු බව නව උපදේශ සංග්‍රහය අවධාරණය කරයි.
සක්‍රමේන්තු පෙන්වා දරුවන් 'බ්ලැක්මේල්" කිරීම
සක්‍රමේන්තු හෝ වෙනත් වාසි, ප්‍රතිලාභ පෙන්වා ඥානෝපදේශයට (දහම් පාසල් වෙත) ගෙන්වා ගැනීමට දරුවන් 'බ්ලැක්මේල්' කිරීම ඥානෝපදේශයේ ගෙල සිර කරන තවත් ග්‍රහණයක් ලෙස නව ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි හඳුන්වා දුන්නේ ය.
"මෙහි අදහස නම්, ඥානෝපදේශය කිසියම් සක්‍රමේන්තුවක් හෝ වෙනත් වැදගත් සසුන් තිළිණයක් ලබා ගැනීමේ කොන්දේසියක් බවට පත් කිරීමේ මානසිකත්වය යි," යි එතුමා විස්තර කළේය.
"මෙය දහම් සේවා ක්‍රමෝපායේ නාමයෙන් සක්‍රමේන්තුවක් සූරාකෑමකි. උදාහරණයක් ලෙස අභිවෘද්ධි ආලේපය ප්‍රසාද නිධානය ලබා දීමේ කොන්දේසියක් ලෙස ළමයින් ඒ කාළය තුළ නොකඩවා මීසමේ මෙහෙයන් තුළ රැඳී සිටීම අනිවාර්ය කිරීම පෙන්වා දිය හැකියි. ඊට වඩා වැදගත් වන්නේ කිතුනු ජීවිත ආර්ථිකය තුළ එම සක්‍රමේන්තුව කෙතරම් වැදගත් වන්නේ ද යන්න කුඩා රැලට පහදා දීම යි" එතුමා පැහැදිලි කළේය.
"ආබාධ සහිත ජනතාව, බරපතල කැළඹීම් තිබුණා වුව ද , සම්පූර්ණ සක්‍රමේන්තු ජීවිතයට කැඳවීම් ලබා සිටිති," යි නව උපදේශ සංග්‍රහය කියයි. "සක්‍රමේන්තු සහ ජනවන්දනාව දෙවියන් වහන්සේ ගේ තිලිණ වන අතර, තර්කාන්විතව තේරුම් ගැනීමට පෙර පවා, ඒවා ජීවත් කරන ලෙස අපගෙන් ඉල්ලා සිටියි; මේ නිසා කිසිවෙකුටත් ආබාධිත ජනතාවට සක්‍රමේන්තු දානය කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකිය."
"මෙම සහෝදර සහෝදරියන්ට ප්‍රකාශ කළ හැකි විශ්වාසයේ ප්‍රීතිය සහ සෞන්දර්යය දන්නා කිතුනු සංඝය පොහොසත් එකකි. ඔවුන් දහම් සේවා වලට අන්තර්ග්‍රහණය කිරීම, විශේෂයෙන් ජනවන්දනා පිළිවෙත් වලට අන්තර්ග්‍රහණය කරගැනීම වැදගත් වන්නේ එබැවිනි. ...අබාධිත වූවන්ඇතුළත් කර ගැනීම කැඳවීම සභාවට වර්ධනය වීමේ අවස්ථාවකි. ...ඔවුන් අන්තර්ග්‍රහණය කර ගැනීම මගින් සභාවට සංස්කෘතික පූර්ව විනිශ්චයන් ජයගැනීමට හැකි වනු ඇතැ"යි උපදේශ සංග්‍රහය අවධාරණය කරයි
අබාධිත සහිත පුද්ගලයන්ටත්/දරුවන්ටත් ඥානෝපදේශය දිය යුතුයි
සභාවේ සක්‍රමේන්තු තිලිණයක් බව නව ධර්මෝපදේශ උපදේශ සංග්‍රහය පෙන්වා දෙයි. මේ නිසා මානසික ආබාධ සහිත වූවනට ඒවා ප්‍රතික්ෂේප කල නොහැකි යයි එය අවධාරණය කරයි."ආබාධ සහිත ජනතාව, බරපතල කැළඹීම් තිබුණා වුව ද , සම්පූර්ණ සක්‍රමේන්තු ජීවිතයට කැඳවීම් ලබා සිටිති," යි නව උපදේශ සංග්‍රහය කියයි. "සක්‍රමේන්තු සහ ජනවන්දනාව දෙවියන් වහන්සේ ගේ තිලිණ වන අතර, තර්කාන්විතව තේරුම් ගැනීමට පෙර පවා, ඒවා ජීවත් කරන ලෙස අපගෙන් ඉල්ලා සිටියි; මේ නිසා කිසිවෙකුටත් ආබාධිත ජනතාවට සක්‍රමේන්තු දානය කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකිය."
"මෙම සහෝදර සහෝදරියන්ට ප්‍රකාශ කළ හැකි විශ්වාසයේ ප්‍රීතිය සහ සෞන්දර්යය දන්නා කිතුනු සංඝය පොහොසත් එකකි. ඔවුන් දහම් සේවා වලට අන්තර්ග්‍රහණය කිරීම, විශේෂයෙන් ජනවන්දනා පිළිවෙත් වලට අන්තර්ග්‍රහණය කරගැනීම වැදගත් වන්නේ එබැවිනි. ...අබාධිත වූවන්ඇතුළත් කර ගැනීම කැඳවීම සභාවට වර්ධනය වීමේ අවස්ථාවකි. ...ඔවුන් අන්තර්ග්‍රහණය කර ගැනීම මගින් සභාවට සංස්කෘතික පූර්ව විනිශ්චයන් ජයගැනීමට හැකි වනු ඇතැ"යි උපදේශ සංග්‍රහය අවධාරණය කරයි
මරණ දඬුවම - සාංක්‍රමනිකයන් - සිරකරුවන් - පරිසරය
කතෝලික සභාවේ සමාජ ධර්මීය ඉගැන්වීම් සේ ම ශුද්ධ ලියවිල්ල අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් කතෝලික සභාවේ ධර්මෝපදේශයට කරන ලද සංශෝධන කිහිපයක් ද ඥානෝපදේශයට ('දහම් පාසල්') ඇතුළත් කර තිබේ.ඉන් එක වැදගත් උපදේශයක් වන්නේ මරණීය දණ්ඩනය කතෝලික සභාවට "නොපිළිගත හැකි" දඬුවමක් ලෙස ධර්මෝපදේශයේ කෙරෙන ඉගැන්වීම ඥානෝපදේශය තුළින් දරුවනට තරයේ ඉගැන්විය යුතුය යන කාරණයයි.
"මරනීය දණ්ඩනය අමානුෂික දඬුවමකි. මේ සම්බන්ධයෙන් වූ සභා ඉගැන්වීම හොඳින් අවබෝධ කර දීමටත්. ඒ අනුසාරයෙන් නව සංස්කෘතියක් ගොඩ නැගීම සඳහා කළ හැකි සියල්ල කිරීමටත් ඥානෝපදේශය කටයුතු කළ යුතු ය."
"මරනීය දණ්ඩනය අමානුෂික දඬුවමක්" බව ධර්මෝපදේශ උපදෙස් සංග්‍රහය අවධාරණය කරයි. "මේ නිසා මේ සම්බන්ධයෙන් වූ සභා ඉගැන්වීම හොඳින් අවබෝධ කර දීමටත්. ඒ අනුසාරයෙන් නව සංස්කෘතියක් ගොඩ නැගීම සඳහා කළ හැකි සියල්ල කිරීමටත් ඥානෝපදේශය කටයුතු කළ යුතු යැ"යි එම ලියැවිල්ල කියා සිටියි.
කතෝලික සමාජ ධර්මයේ මූලිකම ඉගැන්වීමක් වන "දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම" (Preferential option for the poor) නව ඥානෝපදේශ උපදෙස් සංග්‍රහයට ඇතුළත් කර තිබේ. සභාව ඥානෝපදේශය තුළින් "දේව දූතික දිළිඳුකම" ජීවත් කරවීමට ජනතාව යොමු කල යුතු යැයි එම ලියැවිල්ල කියයි. "සහෝදරත්වයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට ද, දුප්පතුන් විඳින දුක් දොම්නස් සහ ඔවුනට මුහුණ දෙන්නට සිදුවන අයුක්තීන් හා අසාධාරණකම් වලට එරෙහිව විශ්වාසිකයන් නැගී සිටින සංස්කෘතියක් පෝෂ්‍ය කිරීමට ද ඥානෝපදේශය ක්‍රියා කළ යුතු ය."
සාංක්‍රමනිකයන් සහ සිරකරුවන් නව ඥානෝපදේශ උපදෙස් සංග්‍රහයේ කතා කෙරෙන තවත් මාතෘකා දෙකකි. "සිරකරුවන් යනු අව්‍යාජ ධර්ම දූතික දේශයකි" යි එම ලියැවිල්ල විස්තර කරයි. "මේ අනුව ඥානෝපදේශය සිරකරුවන් වෙත ක්‍රිස්තුන් වහන්සේ ගේ ගැලවීම ප්‍රකාශ කළ යුතු ය. එසේ ම ඔවුනට සවන් දීම මගින් සභාවේ මාතෘක රැකබලාගැනීම ඔවුන් වෙත පුද කල යුතු ය.
සාංක්‍රමනිකයන් පිළිගැනීම, ඔවුන් විශ්වාස කිරීම සහ ඔවුන් සමග සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි ඥානෝපදේශය අවධානය යොමු කල යුතු බවට එම ලියැවිල්ල උපදෙස් දෙයි. "සිය මව් බිම් වලින් ඉතා ඈතට පැමිණ සිටින සාංක්‍රමනිකයන් විශ්වාසයේ අර්බුදයකට මහුණ පා සිටිය හැකිය. පූර්ව විනිශ්චයන් පරාජය කිරීමට කරන සටනේ දී ඔවුනට සහය දිය යුතු ය. එසේම මිනිස් පරිවහන ජාවාරම් වැනි බරපතල අනතුරු වලින් ඔවුන් මුදා ගත යුතු ය."
"පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් කැපවීම ක්‍රිස්තියානි ජීවිතයේ පූර්ණ කොටසක් ය යන්න ඥානෝපදේශය මගින් විශ්වාසිකයනට ඒත්තු ගැන්විය යුතු ය."
පරිසරය ආරක්ෂා කිරීම සහ එය රැක බලා ගැනීමේ ලා කිතුනුවකු සතු වගකීම ද ඥානෝපදේශයට ඇතුලත් විය යුතු බව නව උපදෙස් මාලාව අවධාරණය කරයි. එය පෙන්වා දෙන්නේ පාරිසරික ප්‍රශ්න ගැන දැනුම්වත් වීමත් එහිලා ක්‍රියා කිරීමත් කිතුනු කැපවීමට ඇතුලත් වන බව ය. "පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් කැපවීම ක්‍රිස්තියානි ජීවිතයේ පූර්ණ කොටසක් ය යන්න ඥානෝපදේශය මගින් විශ්වාසිකයනට ඒත්තු ගැන්විය යුතු ය."
ඥානෝපදේශ ගුරුවරුන්
නව ධර්මෝපදේශ උපදේශ සංග්‍රහය විසින් ධර්මෝපදේශකයන් ගේ කාර්ය භාරය පිලිබඳ නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ. එසේම ධර්මෝපදේශකයන් "ඥානෝපදේශනය" කිරීමේ වැදගත් කම ද ඒ මගින් පහදා දී ඇත.එම ලියැවිල්ලේ ධර්මෝපදේශකයන් ගේ කාර්යභාරය නිර්වචනනය කරන්නේ "කැටුව යාමේ කලාව සහ මනුෂ්‍යත්වය පිලිබඳ විශේෂඥයන්" ලෙස ය.
"ඇදැහිල්ලේ සාක්ෂ්‍යකරුවන් ලෙස ඥානෝපදේශකයන් වන්නට පෙර ඔවුන් ඥානෝපදේශනය කළ යුතු ය. මිෂනාරීය ආධ්‍යාත්මිකත්වය අනුව පරිත්‍යාගශීලි වීම, කැපවීම සහ අවංකභාවයෙන් ක්‍රියා කිරීම ඊට අවශ්‍ය වේ."
කුලවැද්දීම: සුපුවත දේශය/සමාජය විනිවිද යාමට සැලැස්වීම
ධර්මෝපදේශය මගින් සුපුවත කුලවැද්දීමට හෙවත් "දේශීය කරණයට" ක්‍රියා කිරීමේ වැදගත් කම ද නව ඥානෝපදේශ උපදේශ සංග්‍රහය පෙන්වා දෙයි."සෑම එක් එක් සභාවක් කැඳවීම ලබා ඇති විශ්වාසය කුලවැද්දීමේ සේවාව යනු සභාව සුන්දර කරන ශුද්ධාත්මයාණන් ගේ නිත්‍ය ඵලදායී භාවයේ සලකුණකි" යි එහි සඳහන් වේ.
එහෙත් කුලවැද්දීම තේරුම් ගත යුතු ආකාරය ද එහි විස්තර කෙරේ:
"කුලවැද්දීම යනු හුදෙක් කිසියම් සංස්කෘතියකට අනුවර්තනය වීම ලෙස පමණක් අවබෝධ කර නොගත යුතු ය. එය ඊට වඩා ගැඹුරු වූත්, ගෝලීය වූත්, ප්‍රගතිශීලී වූත් මාර්ගයකි. එහි අදහස සුපුවත සෙමින් ජනතාව සහ ජනතාවන් තුළට විනිවිද යාමට සැලැස්වීම ය."
"ඥානෝපදේශය ධර්මදානයට දෙන සුවිශේෂී දායකත්වය ජනතාව ගේ අත්දැකීම් සමගත් ඔවුන් ගේ ජීවිත ශෛලිය සහ පෞද්ගලික සහ සමාජයීය ක්‍රියාවලීන් සමගත් සම්බන්ධතාවකට ඇතුළුවීමට වෑයම් කිරීම ය."
"කුලවැද්දීමේ අරමුණ වන්නේ ඇදැහිල්ලේ අත්දැකීම අභ්‍යන්තරීකරණය කිරීමේ ක්‍රියාවලිය ය."
විශ්වාසය කුලවැදීමේ ක්‍රමවේදයක් ද මෙම ලියැවිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.
"ධර්ම දානය කෙරෙන සහ සුපුවත ජීවත් කෙරෙන සංස්කෘතිය තුළ විශ්වාසයේ අන්තර්ගතයේ සම්පූර්ණත්වය හීන නොකිරීමට ධර්මොපදේශකයන් පරෙස්සම් විය යුතු ය. අවසානයේ දී කුලවැද්දීමේ අරමුණ වන්නේ ඇදැහිල්ලේ අත්දැකීම අභ්‍යන්තරීකරණය කිරීමේ ක්‍රියාවලිය ය. "
සොළොස්වන බෙනඩික් සහ ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියවරුන් විසින් නිකුත් කරන ලද ලේඛන නව ධර්මෝපදේශ උපදේශ වලට පාදක වී තිබේ. විශේෂයෙන් ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධුර කාලය තුළ පවත්වන ලද සිනොඩ් කථිකාවන් සහ රදගුරු හමුවීම් වලදී නිර්දේශිත වූ කාරනා ද එම සඳහා පාදක කරගෙන ඇත.
නව ධර්මෝපදේශ උපදේශ සංග්‍රහය ඉදිරි දින වලදී ලොව පුරා ජාතික සහ ප්‍රාන්තීය රදගුරු සම්මේලන වලට යැවීමට කටයුතු යොදා තිබේ. එම උපදෙස් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවැරෙන්නේ එක් එක් රදගුරු සම්මේලන වලට යි.
"මෙම නව එළඹුම ධර්මෝපදේශ පුරුදු වෙනස් කරනු ඇතැ"යි ජොඑල් මිලිනාරියෝ බලාපොරොත්තු පළ කරයි.
Comments
Post a Comment