පාස්කු අනුස්මරණ ගීය ගැන විමර්ශනයක් - සෑම කතෝලික පල්ලියකම වාදනය වන තේමා ගීතය විය යුතුයි: "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් -අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්"
(2021 අප්‍රේල් 27) "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන් කොහිද යුක්තිය කොහිද ධර්මය කොහිද නීතිය විමසමු" අප කිලෝ මීටර 12,880ක් ලංකාවට ඈතින් ජීවත් වුවද, මේ විපතට පත් වූ එකදු කතෝලික -කිතුනු කිසිම කෙනෙකු අපේ නෑදෑ කෙනෙකු නොවූව ද, 2019 අප්‍රේල් 21 වැනිදා මේ පළාතේ ජීවත් වූ අපේ හදවත් ද ඒ බෝම්බයෙන් පුපුරා ගියේ ය. අපි දු හැඬුවෙමු. නිදි නැතිව විස්තර සෙව්වෙමු. යාච්ඥා පුද පූජා ඔප්පු කළෙමු. කල හැකි අයුරින් එකතු වීත් තනි තනිවත් උදව් උපකාර කළෙමු. පුපුරා ගිය හදවතින් යුත් අපි එක ප්‍රශ්නයක් ඇසුවෙමු. ලංකාව තුළ කිතුනු-මුස්ලිම් ගැටුමක් තිබුනේ නැත. අප බොහෝ ආදරය කරන අපට ආදරය කරන මුස්ලිම් සහෝදර සහෝදරියෝ සිටිති. එසේ තිබියදීත් අපේ දින දර්ශනයේ අතිශය උතුම් ම මංගල්‍යය දිනය, මරණය පරාජය කර ජීවිතය තහවුරු කල දිනය, මරණයේ දිනයක් කරන්නට තරම් මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු සාහසික වූයේ ඇයි? ඇත්තෙන් ම මෙය ඔවුන් ගේ 'අන්තවාදී' ක්‍රියාවක් ද? නැතිනම්, කතෝලික සහ කිතුනු සමූහ ඝාතනයක් ඔස්සේ සිය දේශපාලන හෝ වෙනත් අරමුණක් සපුරා ගැනීමට අර අඳිමින්...