"යුක්රේනය ආක්‍රමණය නිරර්ථක සහ ඛේදජනක යුද්ධයක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කසාක්ස්ථාන සංචාරය අරඹමින් කියයි. "යුද්ධය වෙනුවට සංවාදයට, රාජ්‍යතාන්ත්‍රික භාවයට කැප වූ නායකයන් ඕනෑ කර තිබේ."
Starting Apostolic Journey in Kazakhstan, Pope Francis condemns 'senseless and tragic' Ukraine war
සුදොතුම් පියතුමා කසාක් ජනාධිපති විසින් පිළිගනු ලැබ ... |
(2022 සැප්තැම්බර 14)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සැප්තැම්බර 13 වැනි දා කසාක්ස්ථානයේ තුන් දින අපෝස්තලික සංචාරයක් ආරම්භ කළේය.
ලොව පුරා ජනතාව දැඩි අවධානයකින් සිටින මෙම සංචාරය එතුමා ආරම්හ කළේ රුසියාවේ "නිරර්ථක සහ ඛේදනීය යුක්රේන ආක්‍රමණය" දැඩි ලෙස හෙලාදකිමිනි.
සුදොතුම් පියතුමා ගේ මේ සංචාරය හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි.
එම සංචාරයේ ප්‍රධාන අරමුණ සැප්තැම්බර 14-15 දෙදින එරට නූර්-සුල්ටාන් අගනුවර දී පැවැත්වෙන ජගත් සහ සාම්ප්‍රදායික ආගම්වල නායකයන් ගේ සත් වැනි මහ සමුළුවට සහභාගී වීමයි.
එතුමා කසාක්ස්ථානයට පැමිණෙන්නේ එම ප්‍රදේශයේ යුද්ධයක් පවතින අවස්ථාවක වීම තවත් වැදගත් කරුණකි. කසාක්ස්ථානයේ උතුරු දිග සම්පූර්ණයෙන් මායිම් වන්නේ රුසියාවට ය. එම මායිමේ දිග සැතපුම් 5000කි. නැගෙනහිර දිගින් කුඩා දුරක් යුක්රේනයට මායිම් වේ. මේ නිසා එරටට රුසියා-යුක්‍රේන යුද උණුසුම තදින් දැනේ.
සාම්ප්‍රදායික ආගමික නායකයකු ලෙස රුසියාවේ ඕතොඩොක්ස් සභාවේ නායක කිරිල් පේත්‍රියාක් තුමා ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව සිටියේ ය. කිරිල් පේත්‍රියාක් තුමා වූ කලී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරමින් හේතුවක් නොමැතිව ආරම්භ කළ යුද්ධයට කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ දිරිය සහ සහය ලබා දෙන ආගමික නායකයා ය. මේ යුද්ධය නතර කිරීමට මැදිහත් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිරිල් පේත්‍රියාක් තුමා ගෙන් කිහිප වතාවක් ඉල්ලා සිටියේ ය. වරක් එතුමා සමග මේ සම්බන්ධයෙන් සූම් සාකච්ඡාවකද නිරත වුණේය. එහෙත් පේත්‍රියාක් තුමා නොවේ, යුද්ධය නැවත්වීමට කිසිදු ලෙසකින් මැදිහත් වූයේ. මේ හේතුව නිසා නූර්-සුල්ටාන් හි දී මේ නායකයන් දෙදෙනා මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා මතුවෙමින් තිබිණි. කෙසේ නමුදු එම සමුළුවට සහභාගී වීම කිරිල් පේත්‍රියාක් තුමා අවසන් මොහොතේ අවලංගු කලේ ය.
සැප්තැම්බර් 13 වැනිදා නූර්-සුල්තාන් අගනුවරට සපැමිණීමෙන් අනතුරුව ජනාධිපති කස්සිම්-ජොමාත් ටෝකායෙව් විසින් පවත්වනු ලැබූ රාජ්‍ය පිළිගැනීමෙන් පසුව කල සිය ප්‍රථම කතාවේදීම සුදොතුම් පියතුමා යුද තත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කලේ මේ නිසා ය.
නිරර්ථක ඛේදජනක යුද්ධය
තමා කසාක්ස්ථානයට පැමිණියේ "සංවාදය සහ එකමුතු කම සොයා යන සාමයේ වන්දනාකරුවකු ලෙසින්" යැයි එතුමා එම කතාවේදී කිවේය.
"කසාක්ස්ථානය වැදගත් භූදේශපාලන මංසන්ධි නිරූපණය කරයි. මේ නිසා ලෝකයේ ගැටුම් අඩු කිරීමෙහි ලා එරටට ඉතා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකිය" යි එතුමා කීවේය.
වසර 2001 දී සිය පූර්වගාමියා වූ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ කාස්ක්ස්ථානයට පැමිණියේ ලෝකයේ දැවැන්ත ඛේදවාචයක් වූ 9/11 සිද්ධියෙන් පසුව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. තමා මේ සංචාරය කරන්නේ එවැනිම ඛේදනීය තත්වයකට ලෝකය මුහුණ දෙමින් සිටිය දී බව එතුමා පෙන්වා දුන්නේ ය. එම ඛේදාන්තය එතුමා මෙසේ විස්තර කලේ ය:
"මා ඔබ බලන්නට පැමිණෙන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ නිරර්ථක සහ ඛේදජනක යුද්ධය අතරතුර ය."
"මා පැමිණියේ සාමය වෙනුවෙන් විලාප දෙන, හඬ නගන සියල්ලන් ගේ ආයාචනය ප්‍රතිරාව නැංවීමට ය. අපගේ ගෝලීයකරනය වූ ලෝකයේ සංවර්ධනය උදෙසා අනිවාර්ය මාර්ගය එය ය" යි එතුමා අවධාරණය කලේ ය.
ඕනෑ කර තිබේ: යුද්ධය වෙනුවට රාජ්‍යතාන්ත්‍රික භාවයට කැප වූ නායකයන්
ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යුද්ධය වෙනුවට සාකච්ඡාව, සංවාදය සහ රාජ්‍යතාන්ත්‍රික භාවයේ වැදගත් කම කසාක්ස්ථානයේ සිටින විදේශ තානාපති නිලධාරීන් සහ දේශපාලකයන් ද සහභාගී වූ මේ පිළිගැනීමේ උත්සවයේ දී සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. මෙහිදී ඉතා බලවත් රටවල් සතු වගකීම ද එතුමා විස්තර කලේ ය.
"මේ කාලයේ එක් තැනැත්තකු ගේ ප්‍රශ්නයක් සෑම කෙනෙකු ගේ ම ප්‍රශ්නයකි. එසේ ම ලෝකයේ වඩාත් විශාල බලයක් ඇති රටවලට අනෙක් රටවල් පිළිබඳව වඩාත් විශාල වගකීමක් තිබේ. විශේෂයෙන් ම ඉතා පහසුවෙන් ගැටුම් වලට අවතීර්ණ වීමට ඉඩ ඇති රටවල් සම්බන්ධයෙන් ඔවුනට වගකීමක් තිබේ. එම වගකීම අපගේ සැලකිල්ල යොමු විය යුත්තක් මිස අපගේ ම රටවල තනි ලැදියාවන් වෙනුවෙන් වූවක් නොවේ."
"මෙය එදිරිවාදිකම් සහ පසමිතුරු කම් වර්ධනය කිරීමත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් ශක්තිමත් කිරීමත් නැවැත්විය යුතු කාලයයි. මේ වූ කලී ජාත්‍යන්තර තලයේ දී ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධයත් සංවාදයත් ඇති කල හැකි නායකයන් අවශ්‍ය වූ යුගයකි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරනය කලේ ය.
සෝවියට් දේශයෙන් වෙන් වීමෙන් පසුව සිය රට තුළ තිබූ න්‍යෂ්ටික ආයුධ විනාශ කිරීම ගැන එතුමා කසාක්ස්ථාන නායකයන්ට සහ ජනතාවට ස්තුති කළේය.
කසාක්ස්ථානයේ වාර්ගික විවිධත්වය - ඓහික (නිරාගමික) ස්වභාවය
කසාක්ස්ථානය අති විශාල ජනවාර්ගික විවිධත්වයකින් යුත් රටකි,
විවිධ ජනවාර්ගික කොටස් 550ක් පමණ සිටින එරට තුළ භාෂා 80කට වැඩි සංඛ්‍යාවක් කතා කරනු ලබයි.
එරට අති බහුතරය - එනම් 70% කට වැඩි පිරිස - මුස්ලිම් භක්තිකයෝ ය. එහෙත් එරට නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඓහික රාජ්‍යයක් හෙවත් නිරාගමික රාජ්‍යයක් (ලෙස ය. සෝවියට් දේශයෙන් ඉවත් වී ස්වාධීන රටක් බවට පත් වූ යුගයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම එරට නිරාගමික විය.
එරට ජීවත් වන කතෝලික ජනතාව අතිශය සුළුතරයකි. සුදොතුම් පියතුමා සැප්තැම්බර 14 වැනිදා ඔවුන් වෙනුවෙන් ප්‍රසිද්ධ දිව්‍ය පුජාවක් ඔප්පු කරයි. ඒ වෙනුවෙන් කතෝලිකයන් 3000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment