"චතාරිකයේ පශ්චාත්තාපික ගමනත් - සභාවේ සාංගමනික ගමනත් එක සමානයි" - සුදොතුම් පියතුමා චතාරික පණිවිඩයෙන් කියයි. "වෙහෙස නොබලා කන්ද නැග්ගොත් කන්ද මුදුනේ පරිදර්ශනය අප මවිත කරාවි."
"Lenten Penance and the Synodal Journey are similar" -Holy father says in 2023 Lenten Message
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යොවුන් දින රැළියක දී. -"එකට ගමන් කිරීම." |
(2023 පෙබරවාරි 22 )
අළු බදාදයින් ආරම්භ කෙරෙන චතාරික පශ්චත්තපික සමයත් සභාව දැන් ආරම්භ කර ඇති සාංගමනික ගමනත් (Synodal Journey - සිනෝඩීය ගමන) එක සමාන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.
මේ ගමන් දෙකෙහිම පවතින්නේ එකම ලක්ෂණය. ශ්‍රාවකයන් රැගෙන ක්‍රිස්තුන් වහන්සේ හුදෙකලා තැනකට යාම, එම හුදෙකලා තැන වෙත යන මාර්ගය දුෂ්කර, වෙහෙසකර, මහත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් යුතු එකක් වීම, එහෙත් ගමන පුරා ක්‍රිස්තුන් වහන්සේ "ශ්‍රාවකයන් සමග" සිටීම, ක්ර්සිතුන් වහන්සේ අප ගෙන යන හුදෙකලා තැන - හෙවත් කන්ද මුදුනේ - ශ්‍රාවකයන්ට සිය වෙහෙසට සහ දුෂ්කරතාවට කිසිසේත් සම කල නොහැකි නෙත් සිත් මවිත කරන මහිමයක් දැක ගන්නට ලැබීම එම පොදු ලක්ෂණ වේ.
සිය චතාරික භාවනාව තුළ මේ චතාරිකයේ දී අපට ගමන් කල හැකි මාර්ග දෙකක් ද සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එනම් "ක්‍රිස්තුන් වහන්සේට සවන් දීම සහ 'තැන්නට යාම'යි".
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනාව කරන්නේ 2023 චතාරිකය වෙනුවෙන් සිය චතාරික පණිවිඩය නිකුත් කරමිනි. ශු. පාවුළු තුමන් ගේ සිත් හැරීමේ මංගල්‍යය සැමරුණු ජනවාරි 25 වැනි දින එතුමන් විසින් අත්සන් කරනු ලැබූ මෙම පණිවිඩය ඉකුත් සිකුරාදා වතිකනය විසින් නිකුත් කරනු ලැබිණි.
තාබෝර් කන්දේ අත්දැකීම
මෙවර සිය චතාරික භාවනාව සහ පණිවිඩය වෙනුවෙන් සුදොතුම් පියතුමා පාදක කරගෙන් තිබෙන්නේ චතාරික සමයේ දෙවැනි ඉරුදින දිව්‍ය පූජාවේ සුපුවත වන ජේසු සමිඳුන් ගේ අන්‍යරූප විලාශ වීම හෙවත් "රූපාන්තරණය" ගැන කියවෙන මතෙව් සුවිශේෂයේ සිද්ධියයි.
මෙය අනුසාරයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චතාරික ගමනේ ස්වභාවය පෙන්වා දෙයි.
චතාරික පශ්චාත්තාපය යනු අප ගේ විශ්වාසය කමත් ජේසු සමිඳුන් ගේ කුරුසියේ මාර්ගය අනුගමනය කිරීමට අපගේ ඇති ප්‍රතිරෝධයත් පරාජය කිරීම සඳහා දේව වරප්‍රසාදය තුළ අප පෝෂණය කරන කැපකිරීමක් බව එතුමා පෙන්වා දෙයි. එම චාරිකා ගමනට අවශ්‍ය ආධ්‍යාත්මික ගුණ තුනක් එතුමා පෙන්වා දෙයි. එනම් උත්සාහය, පරිත්‍යාගය සහ සිත් සමාධියයි. දුෂ්කර වූ මේ ගමන අවසානයේ කන්ද මත අත්දකින මහිමාන්විත දර්ශනය වෙත එතුමා කිතුනු ජනතාව ගේ අවධානය යොමු කරයි.
ඒ භාවනාව තුළ සුදොතුම් පියතුමා මේ වසර පුරා කතෝලික සභාව කතා කරන සිනෝඩීය ගමන් හෙවත් සාංගමනික ගමන සහ චතාරික ගමන් අතර ඇති සමානත්වය පෙන්වා දෙයි. පෙර කී ආධ්‍යාත්මික ගුණ තුන, එනම් උත්සාහය, පරිත්‍යාගය සහ සිත් සමාධියයි සාංගමනික ගමනටද අවශ්‍ය ය. සාංගමනික ගමන අර්ථාන්විත වන්නේ සහ එහි ඵල ලබා ගත හැකි වන්නේ "ජේසු ගේ ඇසුරේ සියල්ලන් සමග එක්ව, ජේසු සමිඳුන්ට සහ කිතුනු සංඝයේ සහෝදර සහෝදරියන්ට සවන් දෙමින්" ඒ කන්ද නැගීමෙන් බව එතුමා මේ සිද්ධිය අනුසාරයෙන් විස්තර කරයි.
මෙවර චතාරිකය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ එම සුන්දර භාවනාව සම්පූර්ණයෙන් මෙසේ ය:
"මතෙව්, මාක් සහ ලූක් යන සුපුවත් තුන ම ජේසු සමිඳුන් ගේ අන්‍යරූපවිලාශ වීමේ සිද්ධිය වාර්තා කරයි. එම සිද්ධියේ අප දකින්නේ සිය ශ්‍රාවකයන් තමන් තේරුම් ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සමිඳුන් ගේ ප්‍රතිචාරයයි. ඊට පෙරාතුව සමිඳුන් සහ සීමොන් පේදුරු අතර සැබෑ විසංවාදයක් ඇතිවෙයි. ඊට හේතුව සීමොන් පේදුරු විසින් ජේසු සමිඳුන් යනු දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වන ක්‍රිස්තුන් බව ප්‍රකාශ කරන ලද වහා ම සමිඳුන් සිය දුක් ප්‍රාප්තිය සහ මරණය ගැන කී අනාවැකිය ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි. මෙහිදී ජේසු සමිඳාණෝ ඔහුට තරයේ තරවටු කරති: "සාතන් මගෙන් ඉවත් වෙනු ! නුඹ මට බාධාවකි. මන්ද නුඹ සිතන්නේ දෙවියන් වහන්සේ සිතන ආකාරයට නොව මිනිසුන් සිතන ආකාරයට ය."(මතෙව් 16:23) ඉන් ඉක්බිතිව "දින හයකට පසුව, ජේසු සමිඳාණෝ පේදුරු, ජේම්ස් සහ ඔහු ගේ සොහොයුරු ජුවාම් ද කැටුව කන්දක් වෙත ගියහ." (මතෙව් 17:1)
අන්‍යරූපවිලාශ වීමේ සුපුවත සෑම වසරක ම චතාරික සමයේ දෙවැනි ඉරිදා ජනවන්දනාවේ දී ප්‍රකාශ කරනු ලබයි. මේ ජනවන්දනා සමය තුළ අපගේ සමිඳාණන් වහන්සේ හුදෙකලා ස්ථානයකට අප ගෙන යන සේක. අපගේ සාමාන්‍ය ජීවිතයේ බැඳීම් අපගේ සුපුරුදු තැන්වල රැඳී සිටීමට අපට බල කරමින්, බොහෝ විට පුන පුනා කරන්නාවුත් ඇතැම් විට නීරස වූත් ක්‍රියාකාරකම් වල අප රඳවා තබයි. එහෙත් චතාරික සමය ජේසු සමිඳුන් ගේ ඇසුරේ සිට එතුමන් සමග "උස් කන්දක්" නගිමින්, දෙවියන් වහන්සේ ගේ ශුද්ධවත් ජනතාවක් ලෙස ආධ්‍යාත්මික විනයේ සුවිශේෂී අත්දැකීමක් - එනම් තවුස් බව - ලබන්නට අපට ආරාධනා කරයි.
චතාරිකය සහ සංගමනය
චතාරික පශ්චාත්තාපය වූ කලී අප ගේ විශ්වාසය මඳ බවත් ජේසු සමිඳුන් ගේ කුරුසියේ මාර්ගය අනුගමනය කිරීමට අපගේ ඇති ප්‍රතිරෝධයත් පරාජය කිරීම සඳහා දේව වරප්‍රසාදය තුළ අප පෝෂණය කරන කැපකිරීමකි. පේදුරු සහ සෙසු ශ්‍රාවකයන් කිරීමට අවශ්‍යව තිබුණේ මෙයයි. ස්වාමියාණන් පිලිබඳ අපගේ අවබෝධය ගැඹුරු කර ගැනීමටත්, උන්වහන්සේ ගේ ගැලවීමේ අබිරහස අප පූර්ණ ලෙස වැළඳගෙන තේරුම් ගැනීමත් සඳහා, ප්‍රේමයෙන් අනුප්‍රාණය ලැබ පූර්ණ වශයෙන් අප ගේ තම කම ත්‍යාජ කොට, අහංකාරයෙන් සහ දෙකටම නැති උදසීනත්වයෙන් අප වෙන්කර ගනිමින් උන්වහන්සේ විසින් හුදෙකලා ස්ථානයකට ගෙන යාමට අප ඉඩ හල යුතු ය. අප ඒ ගමන යා යුතු ය. එය උත්සාහයත්, පරිත්‍යාගය සහ සිත් සමාධියත් අවශ්‍ය වන කඳු තරණයක් බඳු දුෂ්කර මාවතකි. මේ අවශ්‍යතාවන්, එනම්, උත්සාහය, පරිත්‍යාගය සහ සිත් සමාධිය. සභාවක් ලෙස අප ගමන් කිරීමට බැඳී සිටින සාංගමනික ගමනට (හෙවත් සිනෝඩීය ගමනට) ද වැදගත් වේ. චතාරික පශ්තාත්තාපය සහ සාංගමනික අත්දැකීම අතර ඇති සම්බන්ධතාව ගැන මෙනෙහි කිරීම මගින් අපට විපුල ඵල ලබා ගත හැකිය.
ජේසු සමිඳාණෝ තාබෝර් කඳු මුදුන මත තමන් කල "ඥාන කාන්තියට" සිය ශ්‍රාවකයන් තිදෙනෙකු ද කැටුව යති. ඔවුන් එසේ තෝරාගනු ලබන්නේ ඔවුන් මේ අසම සම සිද්ධියේ සාක්ෂිකරුවන් වනු පිණිස ය. එම වරප්‍රසාදයේ අත්දැකීම හුදෙකලා නොකොට බෙදා ගැනීම උන්වහන්සේ ගේ අභිප්‍රායය ය. එය බෙදා ගත යුත්තේ යම් සේ ද අපගේ විශ්වාසයේ සමස්ත ගමන ම එසේ බෙදා ගත යුත්තකි. මන්ද අප ජේසු සමිඳුන් අනුගමනය කළ යුත්තේ එකමුතු බව තුළ ය. වන්දනාකාර සභාවක් ලෙස. ජනවන්දනා වර්ෂයත් ඒ තුළ ඇති චතාරික සමයත් අප අත්දකින්නේ ද එකටය. සහෝදර වන්දනාකරුවන් ලෙස ස්වාමීන් වහන්සේ විසින්ම අප අතර තබා ඇති ජනතා ව සමග එකට අපි එය අත්දකිමු. ජේසු සමිඳුන් ශ්‍රාවකයන් ද සමග තාබෝර් කන්ද නැගීම සේ ම අප ගේ චතාරික ගමන ද සිනොඩීය හෙවත් සාංගමනික ගමනක් බව අපට කිව හැකිය. මන්ද එකම ස්වාමියාණන් ගේ ශ්‍රාවකයන් ලෙස අප සියල්ලන් එකට එකම මාර්ගයේ එම ගමනේ යෙදෙන බැවිනි. ජේසු සමිඳාණෝ මාර්ගය බව අපි දනිමු. මේ නිසා ජනවන්දනා ගමන සහ සාංගමනික ගමන යන දෙකේ දී ම සභාව කරන්නේ වෙනත් දෙයක් නොව ගැලැවුම්කරුවාණන් වන ක්‍රිස්තුන් වහන්සේ ගේ අභිරහස තුළට වඩවඩාත් ගැඹුරට ඇතුළු වීමයි.
කඳු මුදුනේ පණිවිඩය
ඉතින් ඒ ඔස්සේ අපි මේ සිද්ධියේ මස්තකප්‍රාප්තියට පිවිසෙමු. ජේසුන් වහන්සේ "ඔවුන් ඉදිරියේ රූපාන්තරණය වූ සේක; උන්වහන්සේ ගේ වත මඬල සූර්යයා සේ බබලන්නට වූ අතර උන්වහන්සේ ගේ වස්ත්‍ර ආලෝකය මෙන් සුදු වූ"බව සුපුවත පවසයි. (මතෙව් 17:2). මේ වූ කලි "කූටප්‍රාප්තියයි", ගමනේ ඉලක්කයි. ඔවුන් ගේ කඳු තරණය අවසානයේ ජේසු සමිඳුන් උන්වහන්සේ ගේ මහිමයෙන්, ලෝකෝත්තර උද්දීප්තියෙන්, දැක ගැනීමේ දේව වරප්‍රසාදය ශ්‍රාවකයන් තිදෙනාට ලබා දී තිබිණි. ස්වාමියාණන් දිළිසුනු ආලෝකය පිටතින් පැමිණුනු එකක් නොවේ; එය උන්වහන්සේ තුළින් ම නික්මී හාත්පස පැතිරුණු ආලෝකයකි. මේ දර්ශනයේ දිව්‍ය ශෝභාව ශ්‍රාවකයන් තාබෝර් කන්ද නගින්නට දැරූ සියලු වෙහෙසට සම කල නොහැකි තරම් අති මහත් විය. මහත් පරිශ්‍රමයෙන් පා නැගිය යුතු දුෂ්කර කඳු මාර්ගයේ අපි අපගේ නෙත් ස්ථිරව මාර්ගය වෙතම යොමු කරගෙන සිටිය යුතු වෙමු. එහෙත් කඳු මුදුනේ දී අප ඉදිරියේ මැවෙන පරිදර්ශනය අප මවිතයට පත් කරන අතර එහි ඓශ්චර්යයෙන් අපට තෑගි කරනු ලබයි. ඒ ආකාරයෙන් ම, සාංගමනික ගමන ද ඉතා දුෂ්කර එකක් බව බොහෝ විට පෙනී යා හැකිය; මේ නිසා ඇතැම් විට අප අධෛර්යවත් විය හැකිය. එහෙත් අවසානයේ අපට ලැබෙන දේ අප මවිත කරවන අශ්චර්යවත් එකක් වනු ඇති බව නිසැක ය. දෙවියන් වහන්සේ ගේ අභිමතයත් උන්වහන්සේ ගේ රාජ්‍යය වෙනුවෙන් අපගේ මෙහෙවරත් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට එය අපට උදව් වනු ඇත.
සම්ප්‍රදාය -නව්‍යතාව එක් කරන සමිඳාණෝ
රූපාන්තරණය වූ ජේසු සමිඳුන් ගේ දෙපසින්, දේව නීතිය සහ දිවස්ප්‍රසාදි වරුන් සංකේතවත් කරමින් මෝසස්තුමා සහ එලියස් දිවස්ප්‍රසාදී තුමා දර්ශනය වීම ශ්‍රාවකයන් ගේ තාබෝර් කඳු ශුඛර අත්දැකීම තව දුරටත් පෝෂණය කළේය (මතෙව් 17:3). ක්‍රිස්තුන් වහන්සේ ගේ නව්‍යතාව එකම අවස්ථාවේ පුරාණයේ ගිවිසුම සහ පොරොන්දු සම්පූර්ණ කරන්නක් ද වන්නේ ය; එය දෙවියන් වහන්සේ සිය ජනතාව සමග වූ ඉතිහාසයෙන් වෙන් කල නොහැකි අතර එහි වඩා ගැඹුරු අර්ථය ද හෙළිදරව් කරයි. ඊට සමානව ම, සාංගමනික ගමන ද සභාවේ සම්ප්‍රදාය තුළ මුල් බැසගෙන ඇති අතර ඒ අවස්ථාවේ දී ම නව්‍යතාවට විවෘත වෙයි. වෙනස්නොවීම නොහොත් අචල්‍යතාව සහ නව මාවත් සෙවීමෙන් සහ නොකළ විරූ අත්හදා බැලීම්වලින් වැලකි සිටීම වැනි විරුද්ධ දුර්පරීක්ෂාවලට නො වැටීමටත් සම්ප්‍රදාය අනුප්‍රාණයක් වෙයි.
චතාරිකයේ පශ්චාත්තාපික ගමන සහ සාංගමනික ගමනේ ඉලක්කය එක සමානවම රූපාන්තරණයකි; එය ශාසනික සහ පෞද්ගලික යන අංශ දෙකේ ම රුපාන්තරණයකි. මේ අවස්ථා දෙකේ ම රුපාන්තරණයේ ආකෘතිය ජේසු සමිඳුන් ගේ රූපාන්තරණය වන අතර එය සාක්ෂාත් කරගත හැක්කේ උන්වහන්සේ ගේ පාස්කු අබිරහසේ වරප්‍රසාදය මගිනි. මේ නිසා, මේ වසර තුළ මේ රූපාන්තරණය අප තුළ සැබෑවක් වනු පිණිස, ක්‍රිස්තුන් වහන්සේ සමග එක්ව කන්ද නැගීම සඳහාත් උන්වහන්සේ සමග ඉලක්කයට එළඹීම සඳහාත් "මාර්ග" දෙකක් යෝජනා කිරීමට මම කැමැත්තෙමි.
සවන් දීම
පළමුවැනි මාර්ගය තාබෝර් කඳු මුදුනේ දී ශ්‍රාවකයන් රූපාන්තරණය වූ ජේසු සමිඳුන් දෙස බලා භාවනා කරමින් සිටිය දී පිය දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් නියෝගයයි. වලාකුලෙන් නික්මුණු හඬ මෙසේ කියයි: "උන්වහන්සේට සවන් දෙන්න." (මතෙව් 17:5) මේ අනුව පළමු වැනි යෝජනාව ඉතා පැහැදිලි ය: අප ජේසු සමිඳුන්ට සවන් දිය යුතු ය. චතාරිකය වරප්‍රසාදීය සමයක් වන්නේ උන්වහන්සේ අපට කතා කරන විට අප උන්වහන්සේට සවන් දෙන තරමට ය. ඉතින් උන්වහන්සේ අපට කතා කරන්නේ කෙසේ ද? පළමුව සභාව අප වෙත තිලිණ කරන ජනවන්ද වේ දේව වචනය තුළිනි. එම දේව වචනයට කිසිවෙක් බිහිරි නොවෙත්වා ! අපට සෑම දිනෙක ම දිව්‍ය පූජාවට සහභාගී වීමට නොහැකි වුවත් අපි දිනපතා දිව්‍ය පූජාවේ ශුද්ධ ලියවිලි කියවීම් අන්තර්ජාලයෙන් හෝ සොයාගෙන කියවා අධ්‍යයනය කරමු. ශුද්ධ ලියවිල්ලට අමතරව අපගේ සහෝදර සහෝදරියන් තුළින් ද - විශේෂය්නේ ම අවශ්‍යතාවලින් පසු වන්නන් ගේ මුහුණු සහ කතා වලින් ද - සමිඳාණෝ අපට කතා කරති. සාංගමනික ක්‍රියාවලියට වැදගත් වන තවත් වැදගත් කාරණයක් මම කියන්නම්: ක්‍රිස්තුන් වහන්සේට සවන් දීම සභාවේ අප ගේ සහෝදර සහෝදරියන්ට සවන් දීම් තුළද සිදු වෙයි. ඇතැම් අවධි වල එවැනි අන්‍යෝන්‍ය සවන් දීම ම ප්‍රරම්භක ඉලක්කය වේ. එසේ ම එය සාංගමනික සභාවේ ක්‍රමවේදය සහ ශෛලිය තුළ අත්හල නොහැකි සාධකය ද වේ.
අන්ධ ආගමිකත්වයේ සරණ නොයන්න
පියාණන් වහන්ස් ගේ හඬ ඇසීමෙන් ශ්‍රාවකයෝ "මහත් බියට පත්ව ශශ්ටාංගයෙන් වැඳ වැටුනාහ. එහෙත් ජේසුන් වහන්සේ පැමිණ ඔවුන් ස්පර්ශ කොට, 'නැගිටින්න. බිය නොවන්න,' යි කී සේක. ශ්‍රාවකයන් හිස ඔසවා බැලු කළ ජේසුන් වහන්සේ හැර වෙනත් කිසිවකුත්නොදුටුවාහ" (මතෙව් 17"6-8). මේ චතාරික සඳහා මගේ දෙවැනි යෝජනාව මෙයයි: යථාර්ථයට මුහුණ දීමට ඇති බියෙන් හෝ ජීවිතයේ දෛනික අරගල, එහි අමාරුකම් සහ පරස්පරතාවලට මුහුණ දීමට බියෙන් හෝ අති විශේෂ අවස්ථා හෝ පුදුම සහගත අත්දැකීම් වලින් යුත් ආගමිකත්වයේ සරණ යාමෙන් වලකින්න. ජේසු සමිඳුන් ශ්‍රවකයන්ට පෙන්වූ ආලෝකය පාස්කු මහිමයේ අපේක්ෂාවයි. එය අපගේ ගමනේ ද ඉලක්කය විය යුතු ය. එසේ කල හැක්කේ "උන්වහන්සේ පමණක්" අනුගමනය කිරීමෙනි. අප පාස්කුව වෙත ගෙන යන්නේ චතාරිකයයි: "පසුබැසීම" එතුළ ම ඉලක්කයක් නොවේ. එය විශ්වාසයෙන්, බලාපොරොත්තුවෙන් සහ ප්‍රේමයෙන් යුතුව සමිඳුන් ගේ දුක්ප්‍රාප්තියත්, කුරුසියත් අත්දකින්නට අප සූදානම් කරන මාර්ගයක් වන අතර ඒ මගින් එය අප උත්ථානය වෙත රැගෙන යයි. ඒ ආකාරයෙන් ම සාංගමනික ගමනේ දී ද දෙවියන් වහන්සේ එකාත්මිකත්වය පිලිබඳ ඇතැම් නිශ්චිත අත්දැකීම් අපට දෙන අවස්ථා වල දී අප ගමනාන්තයට පැමිණ ඇති බවට වටහා නොගත යුතු ය. - මන්ද එහිදී ද "නැගිටින්න. බිය නොවන්නැ" යි ස්වාමීන් වහන්සේ අපට යළිත් කියන සේක. මේ නිසා අපි තැන්නට යමු. තැන්නේ දී, එනම් අපේ සංඝ වල සාමාන්‍ය ජීවිතයේ දී "සංගමනයේ නිර්මාණකරුවන්" බවට පත්වීම සඳහා අප අත්දුටු වරප්‍රසාදය අප ශක්තිමත් කරත්වා !
Comments
Post a Comment