ප්‍රැන්සිස් සසුන් පිය සමයට දස වසරයි! දයාවේ, සාංගමනිකත්වයේ, සහෝදරත්වයේ, දිළිඳු කමේ, සේවක - නායකත්වයේ දශකය ගැන විමසීමක්.
Ten Years of stunning Mercy, Inclusiveness and Servant-Leadership: An analysis of Francis Decade
2023 මාර්තු 13 වනදාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට තෝරා පත්කරගනු ලැබ දස වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.(2023 මාර්තු 13)
පොද වැස්සක් වැටෙමින් තිබේ.
එහෙත් වැස්ස නොතකා රෝමයේ ඓතිහාසික ම ස්ථානයක් වන වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ඇත. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන අපෝස්තලික මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය.
මේ සියල්ලන් බලා සිටින්නේ අද රාත්‍රිය නික්ම යන්නට පෙර පේදුරු තුමා ගේ නව අනුප්‍රාප්තිකයා තෝරාගනු ලබාවිදෝ කියාය. පේදුරු තුමන් ගේ අසුන ඒ වසරේ අනපේක්ෂිත ලෙස හිස් වූයේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමට තීරණය කල නිසාය. මේ කම්පනය ද මෙහි රැස්ව සිටි ජනකායේ මුහුණු තුළ නැත්තේ නොවේ. දවස පුරා විවරව තිබූ රෝමයේ දෙව්මැදුරුවල තරුණ තරුණියන් ගේ සිට වයස්ගත වූවන් දක්වා දිවා රෑ යදිමින් සිටි බවට ද වාර්තා ලැබෙමින් තිබේ. සිස්ටයින් දෙව්මැදුරේ දුම් කුලුන වෙත යොමු වූ නෙත්වල මහත් බලාපොරොත්තුවක් ද ගැබ්ව ඇත්තේ ඒ නිසාය.
හිටි හැටියේ කොහේදෝ සිට ඉගිල ආ සුදු පරෙවියෙක් එම දුම් කුලුන මත වසයි. සියල්ලෝ ප්‍රීතිමත්ව, එහෙත් පුදුමයෙන් පරෙවියා දෙස බලා සිටිති. "ඌ කොහේ සිට ආවේ ද? මේ වෙලාවේ...?" ලොව විවධ දෙසින් පැමිණි මාධ්‍යවේදීන් ගේ රූපවාහිනි කැමරා ඒ දෙසට යොමුවෙයි.
කැනඩාවේ CBC TV ජාතික නාලිකාව රෝමයේ සිට මෙම සිද්ධිය සජීවීව ආවරණය කරන එක් ජාත්‍යන්තර මාධ්‍යයකි. එහි ජ්‍යෙෂ්ඨ වාර්තාකරු ප්‍රවීණ විචාරක පීටර් මෑන්ස්බ්‍රිජ් මෙම විකාශයේ විස්තර විචාරක වගකීම් භාරව සිටියි. කැනඩාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට පත් සන්නිවේදකයකු වන - සසුන් පිය වරණ දැහැන සමය තුළ වතිකාන ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රකාශක ලෙස ද ක්‍රියා කල - බැසිලියාන නිකායික තෝමස් රොසිකා පියතුමා සම්පත් දායකයකු ලෙස මෙම විචාරයට එක්වෙයි. ඔවුන් ගේ නෙත් ද පරෙවියා දෙස යොමුවේ.
"මෙයා කොහේ ඉඳලද ආවේ......" මෑන්ස්බ්‍රිජ් තමාටම කියා ගනියි. පරෙවියා තවමත් කුලුන මතය. මෑන්ස්බ්‍රිජ්ට සතුටු සිනහවක් පහල වෙයි. "මෙයා යන්නේ නැති පාටයි.... පියතුමෙනි මොනවද ඔබට හිතෙන්නෙ මේ පරෙවියා ගැන?" ඔහු විමසයි.
"පරෙවියා කියන්නෙ ශුද්ධාත්මයානන් ගේ සංකේතයනෙ ....." රොසිකා පියතුමා දැඩි විශ්වාසයකින්, සතුටු සිනහවක් ද සමග පිළිතුරු දෙයි.
"ඒ කිව්වේ, ඔබ හිතනවද අපට සුබාරංචියක් ළඟ තිබෙනව කියල, නව පාප්තුමා ගැන?" මෑන්ස්බ්‍රිජ් යලි ප්‍රශ්න කරයි.
පියතුමාට යලි සිනහ පහල වෙයි. "ඇයි? ඔබ හිතනව ද එහෙම නොවේවී කියල?" පියතුමා පැනයකින්ම පිළිතුරු දෙයි.
කොහේදෝ සිට ආ පරෙවියා හිටි ගමන් යළිත් කොහේටදෝ පියඹා යයි.
පොද වැස්ස හෙමින් තුනී වී යයි. පාසල් වියේ දරු දැරියන් ගේ සිට වැඩිහිටියන් දක්වා සියල්ලෝ දුම් කුලුන දෙස නෙත් යොමා බලා සිටිති. බොහෝ දෙනෙකු අත ජපමාල ය.
තවත් මොහොතක් ගෙවී යයි.
හදිසියේම දුම් කුලුනින් දුමක් !
"කළු ද සුදු ද?" හැමෝම අසති. මුලින් නොපැහැදිලි වූ එම දුම පැහැදිලි සුදට හැරේ.
"අලුත් පාප් වහන්සේ තේරිලා ....." සෑම කෙනෙක් තුළම උද්දාමය දොරේ ගලන්නට පටන් ගනියි.
ජනතාව ඔල්වරසන් දෙන්නට පටන් ගනියි.
එහෙත් දැන් මුළු ලෝකයම කුතුහලයෙන් වෙලී ගොස් තිබේ. ඒ, නව පාප් වහන්සේ ලෙස තේරී සිටින්නේ කවර කාදිනල් නමද යන ප්‍රශ්නය කතෝලික-කතෝලික නොවන සමස්ත ලෝකය තුළම නලියන්නට පටන් ගෙන තිබෙන නිසා ය. ඒ නිසා දැන් ගතවන සෑම මිනිත්තුවක් ම දැනෙන්නේ කල්පයක් ලෙසය. අලුත් පාප්තුමා කව්ද? නව පාප්තුමා විය හැකි කාදිනල් හිමිවරුන් ගේ නම් කිහිපයක් ගැන පීටර් මෑන්ස්බ්‍රිජ් සඳහන් කරයි. ඒ අතර කැනඩාවේ කාදිනල් හිමි නමක්, ඉතාලියේ හිමි නමක් ද සිටිති.
“එත්, ඒ කවුද කියල මට හරියටම හිතාගන්න බැහැ…” කැනඩාවේ “Salt+Light” කතෝලික TV නාලිකාවේ ප්‍රධානියා ද වන රොසිකා පියතුමා තරමක් කල්පනාකාරීව කියයි.
මොහොතකින් සාන්ත පීතර බැසිලිකා සඳලු තලයේ දොර විවර වේ. කාදිනල් නමක් ඇරුණු දොරෙන් පිටතට පැමිණේ.
දස දහස් සංඛ්‍යාත ජනකාය මීයට පිම්බාක් මෙන් නිහඬ වෙයි.
“Annuntio vobis gaudium magnum; habemus Papam!”
"මම ඔබට ප්‍රීතිදායක ආරංචියක් ගෙන එමි. අපට පාප්තුමෙක් සිටියි" එතුමා ප්‍රකාශ කරයි. "ආජන්ටිනාවේ අතිඋතුම් හොර්හේ මාරියෝ කාදිනල් බෙර්ගෝලියෝ ස්වාමීන්වහන්සේ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරී පත්වී සිටින බව ද එතුමා 'ප්‍රැන්සිස්' යන නම ගෙන ඇති බවද” එතුමා දැනුම් දෙයි.
ජනතාව අත්පොලසන් දෙති. එහෙත් ඒ අතරින් විමතියක් ද දක්නට ලැබේ. "කවුද මේ බෙර්ගෝලියෝ?" සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමෙන් පසු පාප්වහන්සේ ලෙස තේරී පත්වනු ඇතැයි විශේෂඥයන් අනාවැකි කී කාදිනල් ලේඛනයේ හෝ, නව පාප් වහන්සේ වෙනුවෙන් ඔට්ටු දැමූ එංගලන්තයේ සූදු පොලවල හෝ 'බෙර්ගෝලියෝ ' නම අහලකටවත් පැමිණ තිබුනේ නැත. "කවුද මේ බෙර්ගෝලියෝ ....?" ප්‍රීතිය අතරින් කුතුහලය ජනතාව නොඉවසිලිමත් කරයි.
තවත් මිනිත්තු දහයකින් පමණ සඳලු තලයේ දොර යලිත් විවර වේ. කුරුස ප්‍රතිමාව පෙරටු කරගෙන කාදිනල් හිමිවරු දෙදෙනෙක් පැමිණෙති.
පියතුමකු සේ සුදෝ සුදු ලෝගුවක් ඇඳි කෙනෙක් ඔවුන් මැදින් එති. ඒ නව පාප්තුමා ය.
සුදු ලෝගුවක් පමණක්? උන්වහන්සේට වැරදිලාද? වෙනත් කාට හෝ වැරදිලාද? අමතක වෙලාද?
"නව පාප් වහන්සේ... ප්‍රැන්සිස්... සුදු ලෝගුවෙන් පමණක්? මොකක් ද මේ වෙනස?" CBC රූපවාහිනියෙන් විස්තර ගෙනෙන තෝමස් රොසිකා පියතුමා පුදුමයෙන් කියයි. "ඇයි ? මොකක්ද වෙනස පියතුමා?" මෑන්ස්බ්‍රිජ් විමසයි.
“පාප් වහන්සේලා ප්‍රථම වරට ජනතාව ආසිරි ගන්වන්න එන්නෙ එතුමන් ගේ උත්සවාකාර ආයිත්තම් පැළඳගෙන. ඊට අයත් රක්ත වර්ණ මොසෙට්ටාව (උරස් පෙදෙස වැසෙන සේ සුදු ලෝගුවට උඩින් පළඳින සළුව) ඒ වගේම ඊට යටින් පළඳින රොචේට්ටාව (දනිස් දක්වා දිග ධවල වර්ණ සිනිඳු සළුව; පියතුමන්ලා මෙහෙයන්හිදී අඳින 'සුප්ලිසය' නම් සලුවට සමානය) එතුමන් පැළඳගෙන නැහැ. බැලූ බැල්මට මීසම් සේවක පියතුමෙක් වගෙයි.” පියතුමා විමතියෙන් විස්තර කරයි. “මට මේ ගැන මොකුත් හිතා ගන්න බැහැ ..."
එතුමන් පාප් වහන්සේ බව සනාථ වන්නේ හිස පළඳින සුදු පැහැති සුකෙට්ටෝව (හිස මැද පළඳින 'හිස්වැස්ම') මගින් පමණය.
නව පාප් වහන්සේ (ඒ මොහොතේ බොහෝ දෙනෙකු හැඳින්වූයේ 'පළමුවන ප්‍රැන්සිස්' යනුවෙනි) සඳලු තලය ඉදිරිට පැමිණ සිට ගනිති. එතුමා එතැන සිට ගෙන බලා සිටිති. සාන්ත පීතර චතුරශ්‍රය වසාගෙන සිටින මහා ජන රාශිය දෙස ඇසි පිය නොහෙලා, කතා නැතිව බලා සිටිති. තත්පරයෙන් තත්පරය ගත වෙයි. නව පාප්තුමා නිහඬය. හාත්පස නිහඬය.
නිහඬතාව දරාගත නොහැකිය. "අනේ ! මොනවා හරි කියන්න!" රොසිකා පියතුමා නොඉවසිල්ලෙන් මෙන් කියයි.
තවත් තත්පරයක් ගෙවෙයි.
"බෝනා සේරා!" (සුබ සැන්දෑවක් වේවා!) නව පාප් තුමා ඉතාලි බසින් ප්‍රථම වරට ජනතාවට සුබ පතයි. මුළු චතුරශ්‍රයම දැවැන්ත අත්පොලසන් හා ප්‍රීතිඝෝෂා නාදයකින් ගිගුම් දෙයි.
"හොඳටම වෙනස්! හොඳටෝම වෙනස්!" රොසිකා පියතුමා මහා හඬින් සිනාසෙමින් CBC රුපවානිය ඔස්සේ කියයි. "මොකක්ද වෙනස? මේ සුබ පැතුම වැරදිද?" මෑන්ස්බ්‍රිජ් යළිත් විමසයි. "සුබ පැතුම වැරදි නැහැ. ඒත් සම්ප්‍රදාය ඒක නොවයි. ඒක පාප් වහන්සේලා ගේ සාම්ප්‍රදායික සුබ පැතුම නොවෙයි...." පියතුමා පිළිතුරු දෙමින් සිනාසෙයි. “මට හිතෙන්නෙ එතුමා වෙනස් මගක යන්න හදනව කියල…ඇඳුමින් වෙනස්...සුබ පැතුමින් වෙනස්...මහා බලාපොරොත්තුවක්….!”
ප්‍රීති ඝෝෂාව මඳක් තුනී වෙද්දී නව පාප්තුමා- ප්‍රැන්සිස් පාප් වහන්සේ - යළිත් සිය හඬ අවදි කරති.
"සහෝදර සහෝදරියනි, සසුන් පිය වරණ දැහැනේ වගකීම වුණේ රෝමයට රදගුරු තුමකු දීම. බලන්න! රෝමයේ නව රදගුරුතුමාව සොයා ගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරු ගිහින් තිබෙන දුර. උන්වහන්සේලා ලෝකයේ කෙළවරටම ගිහින් රෝමයට රදගුරුතුමකු සොයා ගන්න…..ඔබ මාව පිළිගත්තාට ස්තුතියි. රෝම පදවියේ ජනතාවට දැන් රදගුරුතුමකු සිටිනවා...මුලින්ම මම කැමැතියි - සොළොස්වන බෙනඩික්- අපගේ හිටපු රදගුරු තුමන් වෙනුවෙන් යාච්ඥාවක් ඔප්පු කරන්න...සමිඳුන් එතුමන් ආශීර්වාද කරන ලෙසත් දේව මෑණියන් එතුමන් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා අපි හැමෝම එක්ව යාච්ඥා කරමු. "
විශ්‍රාමික පාප් වහන්සේ වෙනුවෙන් පරමණ්ඩලයක්, නමෝ මරියක්, ත්‍රිත්ව ස්තෝත්‍රයක් යදින්නට නව පාප් වහන්සේ නායකත්වය දෙයි.
"මම දැන් ඔබව ආසිරි ගන්වනවා. ඒත් ඊට කලින්, මම ඔබෙන් උදව්වක් ඉල්ලනවා. රදගුරුතුමා ඔබව ආශීර්වාද කිරීමට පෙර මට ආශීර්වාද කරන ලෙස ස්වාමීන් වහන්සේට යාච්ඥා කරන්න කියා මා ඔබෙන් ඉල්ලනවා. අපි නිහඬව මේ යාච්ඥාව කරමු. ඔබ මා වෙනුවෙන් කරන යාච්ඥාව …”
ඊළඟට එතුමා කිසිවෙකුත් නොසිතූ දෙයක් කරයි. එනම් නිහඬව, දෑස් පියාගෙන, රැස්ව සිටින ජනතාව දෙසට හිස නමා ගැනීමයි. මේ කිසිවක් සම්ප්‍රදායේ නැත. පාප් වහන්සේ ජනතාව ගේ ආශීර්වාදය ඉල්ලන්න !
දස දහස් සංඛ්‍යාත ජනකාය මොහොතකට දැහැන් ගතවෙයි. නිශ්ශබ්ද වෙයි.මීයට පිම්බාක් මෙන් නිහඬ වෙයි. ජනතාව අතරින් බොහෝ දෙනෙකු ගේ නෙතගින් කඳුළු ගලා යනු රුපවාහිනී සමීප රූප වලින් දක්නට ලැබේ.
ඉන්පසුව නව පාප් වහන්සේ "නගරයටත් ලෝකයටත් සිය ආශීර්වාදය" (Urbi et Orbi) දානය කරති.
"ඔබ මෙහි පැමිණ මෙතෙක් වෙලා බලා සිටීම ගැන ඔබට ස්තුතියි! දැන් හුඟක් රෑ බෝ වෙලා. ගෙවල් වලට යන්න. ගිහින් හොඳ රාත්‍රී ආහාරයක් ගන්න." ප්‍රැන්සිස් පාප් වහන්සේ සිනහවකින් යුතුව ජනතාවට කියති. එතුමා ඊට තවත් අලුත් ඉල්ලීමක් එක් කරයි:
මීට වසර දහයකට පෙර මාර්තු 13 වනදා රාත්‍රියේ වතිකානයේ සිදු වූ සිද්ධි මාලාවයි ඒ .
ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තේරී පත්වීම බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ එකක් විය. කාදිනල් මණ්ඩලය සිස්ටයින් දෙව්මැදුරට ඇතුළුවන විට ‘පේපබිලි’ හෙවත් පාප්ධුරයට පත්විය හැකියැයි නම් කියවුණු හිමිවරුන් අතර එතුමා ගේ නම සඳහන් වූයේ ම නැත. මේ නිසා එතුමා ගේ තෝරාගනු ලැබීම විශ්මිතය.
ඒ ගැන භාවනා කරන විට අන්‍ය ලබ්ධිකයෙකුව සිට, වැඩිහිටියකු වීමෙන් පසුව විශ්වාසය හා අවබෝධය නිසාම කිතු දහම වැළඳගත් මිතුරෙකු මට කී කතාවක් සිහිපත් වෙයි.
ශාන්ත අසීසියේ ප්‍රැන්සිස් සහ සුදොතුම් පිය ප්‍රැන්සිස්
අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් තුමා සමකාලීන සභාවට දැඩි අභියෝගයක් එල්ල කළේය. එය කාලීන වෙනසක් මෙන්ම සුබ අස්න මත පදනම් වූ රැඩිකල් වෙනසක් සඳහා වූ අභියෝගයකි. එම අභියෝගය එතුමනට දුන්නේ අසීසියේ ගරා වැටුණු සන් දමියානෝ පල්ලියේ කුරුසියේ එල්ලී සිටි ජේසු සමිඳාණන් මය. “Francis, rebuild my Church!" තරුණ ප්‍රැන්සිස් මුලින් සිතුවේ එය ගරා වැටුණු සන් දමියානෝ දෙව්මැදුර (church) යළි ගොඩනගන්නට කළ කැඳවීමක් ලෙස ය. එහෙත් එය ඉන් ඔබ්බට ගොස් ඒ වන විට ආධ්‍යාත්මිකව සහ දැක්ම තුළ ගරා වැටී තිබූ සභාව ද (Church) පිළිසකර කිරීමේ කැඳවීමක් හා අභියෝගයක් වූයේය.එම සාන්තුවරයා ගේ නම සිය පාප් ධුරයේ නම ලෙස යොදාගත් බෙර්ගෝලියෝ කාදිනල් තුමා තමාට ද ලැබුණේ එවැනිම කැඳවීමක්ය යන්න විශ්වාස කරන බව සසුන්වේද සහ වතිකාන විචාරකයන් එදත් අදත් දරන මතයකි.
සිස්ටයින් පල්ලිය තුළ සිදුවීම්
එදින රාත්‍රියේ ඡන්ද විමසීමෙන් බුවනෝස් අයරෙස් අගරදගුරු හොර්හේ බෙර්ගෝලියෝ කාදිනල් හිමි සසුනිසුරාණන් වීමට අවශ්‍ය තුනෙන් දෙකක් සහ එකක් ඡන්ද ලබා ගැනීමෙන් පසුව ඡන්දයේ කටයුතු නීත්‍යානුකුලව අවසන් කෙරිණි. ඉන් පසුව කාදිනල් පර්ෂදයේ සහායක නායක කාදිනල් ජියෝවන්නි බැප්ටිස්ටා රේ හිමි බෙර්ගොලියෝ හිමි අසුන් ගෙන සිටි තැන වෙත පැමිණියේ ය.
“Acceptasne electionem de te canonice factum in Summum Potificem ?” එතුමා බෙර්ගෝලියෝ හිමියන්ගෙන් විමසුවේ ය. එනම් “සසුනිසුරාණන් ලෙස ඔබ ලැබූ ශාසනික තේරී පත්වීම ඔබ පිළිගන්නවා ද?” යන්නයි.
සාම්ප්‍රදායික ලෙස නව පාප්තුමන් ඊට දිය යුතු පිළිතුර “Accepto” එනම් “පිළිගනිමි” යන්නයි. එහෙත් කාදිනල් බෙර්ගෝලියෝ හිමි ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය.
“මම විශාල පව්කාරයෙක්. දුක්විඳීම තුළ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව සහ ඉවසීම කෙරෙහි විශ්වාස කරමින් මම එය පිළිගනිමි.”
“Quo nomine vis vocari?” “ඔබ ගන්නේ කවර නම ද?”
“Vocabor Franciscus” “මට ප්‍රැන්සිස් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇත.”
මේ නම ඇසෙද්දී කාදිනල් හිමිවරු ප්‍රීතියෙන් අත්පොළසන් දුන්හ.
එහෙත් මෙතෙක් කිසිදු පාප් තුමකු 'ප්‍රැන්සිස් 'යනුවෙන් හඳුන්වනු ලැබ නොතිබිණි. “මේ නමේ අර්ථය කුමක් ද?” යැයි කිහිප දෙනෙකුට ම නොසිතුනා නොවේ.
ඊට පිළිතුර අවබෝධ කර ගැනීමට කාදිනල් හිමිවරුනට එතරම් වෙලාවක් ගියේ නැත.
පාප් තුමන් ගේ ජනවන්දනා තේවා ප්‍රධානි (Master of Ceremonies) ගුයිදෝ මාටිනි මාහිමි නව පාප් තුමා සිස්ටයින් පල්ලියේ ඉහළ පූජාසනයට වම් පසින් පිහිටි කුඩා සංක්‍රිස්ති කාමරය වෙත කැටුව ගියේය. “කඳුළු කාමරය” යන විරුදයෙන් හැඳින්වෙන්නේ මේ දෙව් පුද ඇඳුම් කාමරය ය.
කාමරයේ ගරාදියක, ප්‍රමාණ තුනකින් එල්ලා තිබුණු පාප් තුමන් ගේ නිල ඇඳුම වන ධවල ලෝගු, ඊට ඇතුළු වූ බෙර්ගෝලියෝ කාදිනල් තුමා දුටුවේ ය. ඒ අසල තැනෙක ප්‍රමාණ පහකින් සාදන ලද රක්ත වර්ණ පාවහන් යුගල පහක්, විවෘත කර තිබූ පෙට්ටි වල බහා සියුම් ටිශියු වලින් වසා තිබිණි.
කාදිනල් ධුරයේ ඇඳුම් උනා ලූ බෙර්ගෝලියෝ කාදිනල් තුමා ධවල ලෝගු අතරින් තමාට ගැලපෙන ලෝගුව රැගෙන ඇඳ ගත්තේ ය. අනතුරුව මාටීනි මාහිමි, මෙතෙක් පාප් වහන්සේලා පැළඳි, මොසෙට්ටාව හෙවත් වැලමිට දක්වා දිවෙන රක්ත වර්ණ වෙල්වට් කාප්පය ඇතුළු අතිරේක රාජකීය පලඳනා නව පාප් තුමන් වෙත පිරිනැමුවේ ය.
"ඒවා නොපැළඳ ඉන්න මං වඩා කැමතියි මොන්සින්ඥෝර්" නව පාප් තුමා කාරුණිකව පිළිතුරු දුන්නේ ය.
පාප් වහන්සේ නමක් පළඳින වටිනා මිණි මුතු එබූ රන් මුවා කුරුසිය ඒ අසල තිබුණේ ය. එහෙත් බෙර්ගෝලියෝ කාදිනල් තුමා ඒ වෙතින් සිය නෙත් ඉවතට ගෙන බුවනෝස් අයරෙස් පදවියේ සහයක රදගුරු තුමන් සමයේ සිට මේ දක්වා සිට පැළඳි පාට ගැසුණු පරණ කුරුසිය රැගෙන කර වටා පැලඳ ගත්තේ ය.
ඊළඟට මාහිමියන් ගේ සහායකයෙක් ප්‍රැන්සිස් නව පාප් තුමන් ගේ අවධානය යොමු කලේ රක්ත වර්ණ පාවහන් වෙතට ය. කලක් අවධානයෙන් ඉවත් ව තුබූ රක්ත වර්ණ පා වහන් පැලඳීමේ සම්ප්‍රදායට යළි පණ පොවන ලද්දේ සොළොස්වන බෙනඩික් පාප් තුමන් විසිනි. පාප් වහන්සේලා රක්ත වර්ණ පාවහන් පළඳින්නට පටන් ගත්තේ බයිසන්තියානු යුගයේ සිට ය. එම යුගයේ රත් පැහැ පාවහන් පළඳින්නට අවසර තිබුණේ පුද්ගලයන් තුන් දෙනෙකුට පමණි. එනම් අධිරාජයා, අධිරාජිනිය සහ පාප් වහන්සේ යන තිදෙනා ය. මාහිමියන් ගේ සහායකයා ගේ ආරාධනය පහන් සිතින් ඉවසූ ප්‍රැන්සිස් නව පාප් තුමා, හිස නමා, තමා ඒ වන විටත් පැළඳගෙන සිටි, බුවනොස් අයරෙස් නුවර සිට තමා ගේ බර දරා ගත් අර ගෙවී ගිය සපත්තු දෙක දෙස බැලුවේය. "මේ දෙක මට හොඳයි.." එතුමා කීවේ ය.
කාදිනල් බෙර්ගොලියෝ හිමි ගේ මේ "පරණ සපත්තු දෙක" රෝමයට දාගෙන යන්නට සුදුසු නැති බව සිතූ බුවනොස් අයරෙස් ආසන දෙව්මැදුරේ තරුණ පියවරු දෙදෙනෙක් එතුමාට අලුත් සපත්තු දෙකක් මිලදී ගෙන දෙන්නට ගත උත්සාහයක් ද එතුමා ප්‍රතික්ෂේප කල බව බොහෝ දෙනෙක් දන්නේ නැත. එසේ බලන විට බුවනෝස් අයරෙස් පදවියට වගේ ම රෝමයේ ඇඳුම් කරුවනට ද බෙර්ගොලියෝ කාදිනල් තුමාගේ සරල බවින් සහ බැහැපත් කමින් එතුමන් වෙනස් කිරීමට නොහැකි විය. ඒ වෙනුවට, මහේශාක්‍ය බවින්, සරුව පිත්තල ආටෝප වලින් තොර, නාසරෙතයේ ජේසුස් තරුණයා ගේත් ඔහු ගේ අග්‍ර ශ්‍රාවකයා වූ පේදුරු නම් ධීවරයා ගේත් පරපුරේ සැබෑ සේවක-නායකත්වයක අරුණෝදය ඔව්හු මේ වෙනස තුළ අත්දුටහ.
නව පාප් වහන්සේ - ප්‍රැන්සිස් - කඳුළු කුටියේ සිට සිය භාරදූර වගකීමට සැරසෙන අතර කාදිනල් හිමිවරු සාලා ක්ලෙමන්තිනා ශාලාවේ පෙළ ගැසෙන්නට වූහ. ඒ, නව පාප් වහන්සේට සුබ පැතීමට සහ සිය කීකරු කම ප්‍රකාශ කිරීම සඳහා ය.
ටික වෙලාවකින් නව පාප් වහන්සේ සිය සරල, අල්පෙච්ඡ ලෝගුවෙන් එහි පැමිණෙනු ඔවුනට දැකගන්නට ලැබිණි.
ශාලාවට පැමිණි එතුමා කාදිනල් හිමිවරුන් ගේ සුබ පැතුම් පිළිගන්නට පටන් ගත්තේ ය. එතැනදී ද කාදිනල් වරුනට "ප්‍රැන්සිස්" නමේ සහ එය පිළිගත් පුද්ගලයා ගේ අසම සම අනන්‍යතාව පැහැදිලි වන්නට විය.
සාම්ප්‍රදායික ලෙස සසුනිසුරු බලය ප්‍රදර්ශන වන සියලු සංකේත භාවිත කිරීම නව පාප් වහන්සේ අත්හැර ඇති බව ඔවුනට පැහැදිලි විය. සාම්ප්‍රදායික ලෙස රාජකීය ආසනයේ රජකු සේ අසුන් ගෙන කාදිනල් හිමිවරුන් ගේ සුබ පැතුම් පිලිගන්නවා වෙනුවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළේ සිටගෙන ම ඔවුන් ගේ දෑත් සිය දෝතට ගෙන සුබ පැතුම් සහ කීකරු කම පිළිගැනීම ය. අවම වශයෙන් එතුමා පීඨිකාවක් මත වත් සිට ගෙන සිටියේ නැත. එතුමා සිටියේ කාදිනල් හිමිවරුනට සමානව එම ශාලාවේ බිම මත සිටගෙන ය. ඊට අමතරව, එතුමා කාදිනල් හිමිවරුනට ඇමතුවේ "කාදිනල් ස්වාමීන් වහන්සේ" (Lord Cardinal) ලෙස නොවේ. "සහෝදර කාදිනල් වරුන්" (Brother Cardinals ) ලෙස ය. එතුමා ඔවුන් සහෝදරත්වයෙන් වැළඳ ගනිමින් ඔවුනට ආචාර කළේය. ඉඳ හිට කාදිනල් තුමකු එතුමා ගේ මුද්ද සිපාචාර කිරීම සඳහා එතුමන් ඉදිරියේ හිස පහත් කර දණ ගැසුවේ ය. එ විට එතුමා ද පෙරළා හිස නමා ආචාර කර එම කාදිනල් වරුන් ගේ මුද්ද සිපාචාර කළේ ය. මේ සියල්ලෙන් එතුමා සංකේතවත් කළේ කුමක් ද? “අතීතයේ පැවති වැඩවසම් අධිකාරිවාදී ආකෘතිය අවසන්ව තිබේ. සේවාවේ සහ සමානයන් අතර නායකයා වීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමු,” යන්න ය.
මෙසේ ආරම්භ වූ සේවක-නායක කැපවීමේ ඉකුත් දස වසර තුළ සිදු වූ වෙනස කුමක්ද?
ලෝකය පිලිබඳ දැක්ම
සභා ප්‍රතිසංස්කරණ
කියුරියාව හෙවත් සභාවේ ඉහල ම පරිපාලනය
සාංගමනිකත්වය
සභා අතර සංවාදය
සභා සාමාජිකයන් ගේ ළමා අපයෝජන අපචාර
දූත සේවාව
සුදොතුම් පියතුමාට එරෙහි ‘යුද්‍ධය’
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් දස වසර තුළ මේ අභියෝගාත්මක මෙහෙවර කලේ සුමට මාවතක නොවේ. එතුමා සභාව ක්‍රිස්තු හදවතට සමීප කරන්නට ගන්නා වෑයම සභාවේ ම ඇතැම් කොටස් වල විවේචනයට් ලක්වූවා පමණක් නොව එම පාර්ශවයෙන් දැඩි ප්‍රතිරෝධයක් ද එල්ල වූයේය.ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තේරුම් ගත හැකි ‘යතුරු’
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අප ගෙවමින් සිටින මේ අවුල් සහගත යුගයට සභාවේ හිස වන කිතු සමිඳුන් විසින් දෙන ලද තිළිණයකි.එතුමන් ගේ ශීල ධාර්මික මෙන්ම ඇතැම් දේශපාලන සමාජ ආර්ථික (සරණාගතයන්, යුද්ධ වැනි) තීරණ, ක්‍රියා මාර්ග හා උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ‘දයා කරුණාව’යි. දෙවි පියාණන් මිනිසාට අසීමිතව දයා කරුණාව දක්වන බැවින් මිනිසා ද සිය සහෝදරයාට සැලකිය යුත්තේ එසේය යන්න එයින් කියැවේ
එතුමා කතෝලික සභාවේ පුදැදුරු-ගිහි නායකත්වය පිළිබඳව ගන්නා තීරණ, ක්‍රියාමාර්ග සහ උපදෙස් තේරුම් ගැනීමට ඇති යතුර ජේසු සමිඳුන් වදාළ “සේවක-නායකත්වය”යි. 2015 දී පවත්වන ලද රදගුරු සාංගමනිකභාවයට වසර 50ක් ගත වූ සංවත්සරයේ දී එතුමා ඒ ගැන කීවේ මෙසේය:
“මා වෙනුවෙන් යාච්ඥා කරන්න.”
තමන් මෙම ධුරයට පත් වූ පළමු මොහොතේ සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බැහැපත්ව සියල්ලන්ගෙන් ඉල්ලා සිටින ‘උදව්ව’ එයයි: “මා වෙනුවෙන් යාච්ඥා කරන්න.”අභියෝගාත්මක යුගයක පේදුරු තුමන් ගේ වගකීම පැවරුණු එතුමනට බොහෝ යාච්ඥා අවශ්‍ය වේ. පාප් ධුරයේ දසවැනි සංවත්සරය වෙනුවෙන් ඔබට එතුමනට පිදිය හැකි වටිනාම, ප්‍රබලම ත්‍යාගය එයයි.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙනුවෙන් යාච්ඥා කරන්න.
Comments
Post a Comment