ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තත්වය දරුණු අතට: ආජන්ටිනාවේ 'කාලකන්නි වතු" ඇතුළු ලොව පුරා ජනතාව පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට රොක්වෙති
![]() |
රෝමයේ ප්‍රාකාරයෙන් පිටත සාන්ත පාවුළු දෙව්මැදුර අබියස යාච්ඥා කරන දෙදෙනෙක් |
(2025 පෙබරවාරි 22)
ගාසා තීරය ඇතුළු ලොව පුරා රටවල් රාශියක කතෝලික ජනතාව දෙව්මැදුරුවලට රැස්වී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට පටන්ගෙන තිබේ.
දරුණු ශ්වසන රෝග සංකීර්ණයකින් පීඩා විඳිමින් සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙබරවාරි 14 වැනිදා රෝමයේ ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කෙරිණි. එතුමා මුලින් ම රෝහලට ඇතුළත් කරන ලද්දේ බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙනි. එහෙත් ඊට අමතරව එතුමා තරමක් දරුණු නියුමෝනියා තත්වයකින් ද පීඩා විඳින බව එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායම නිරීක්ෂණය කළේය . ඊටත් අමතරව ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් ද එතුමාට පීඩා කරමින් තිබිණි. මේ අනුව ඉතා ප්‍රබල ප්‍රතිකාර මාලාවකට එතුමන් භාජනය කර තිබිණි.
මාර්තු 21 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ සුදොතුම් පියතුමා ගේ වෛද්‍ය කණ්ඩායම එතුමා ගේ තත්වය පැහැදිලි කළහ. "ඔබේ ප්‍රශ්නය එතුමා අනතුරුදායක තත්වයෙන් මිදිලා ද කියන එක නම් පිළිතුර "නැහැ" කියන එකයි. ඔබේ ප්‍රශ්නය එතුමා මියයන්නට තරම් අනතුරු දායක තත්වයට පත්වෙලා ද? යන්න නම්, පිළිතුර "නැහැ" කියන එකයි" යි පාප් තුමන් ගේ ප්‍රධාන වෛද්‍යවරයා තත්වය සාරාංශ කරමින් කියා සිටියේ ය.
කෙසේ නමුත් සුදොතුම් පියතුමා "ඉතා අවදියෙන් සහ සැහැල්ලුවෙන් ඉන්නවා" යි වෛද්‍යවරයා කිවේය. එතුමාට පුරුදු පරිදි වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය සමග කතා බස් කරමින් සහ විහිලු තහළු කරමින් එතුමා කාලය ගත කරන බව ඔහු සඳහන් කළේය.
"සෙනසුරාදා තත්වය දරුණු වුණා"
එහෙත් රෝමයේ වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී අටට පමණ නිවේ නයක් නිකුත් කල වතිකාන මාධ්‍ය අංශය කියා සිටියේ සුදොතුම් පියතුමන් ගේ තත්වය තරමක් දරුණු අතට හැරී ඇති බවයි. ඊට එක් හේතුවක් වන්නේ එතුමන්ට ඇදුම රෝගී තත්වයක් හදිසියේ ඇතිවීමයි. ඊට අමතරව එතුමන්ගේ රුධිරයේ පට්ටිකා සෛල සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වීම නිසා එතුමන්ට රුධිරය ලබා දීමට ද සිදු වූ බව රෝහලේ තොරතුරු උපුටා දක්වමින් වතිකානය කියා සිටියේ ය. මේ සමගම එතුමන්ට හුස්ම ගැනීම අපහසු වීම නිසා ප්‍රබල ඔක්සිජන් ප්‍රතිකාරයක් ද ලබා දීමට සිදු වූ බව එම නිවේදනයේ සඳහන් විය.
ලොව පුරා යැදුම්
මේ වන විට ලොව පුරා ප්‍රදේශ රැසක එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට විශාල ජනතාවක් දෙව්මදුරුවලට එක්වෙමින් සිටිති.
සෙනසුරාදා රාත්‍රිය වන විට රෝමයේ ජෙමෙල්ලි රෝහල ඉදිරිපිටට ගිහි, පූජක සහ පැවිදි පිරිස් රොක් වෙමින් යාච්ඥා කරන්නට පටන් ගත්හ.
පදවියේ සියලු දෙව්දුමැරුවල දිව්‍ය පූජාවට පෙර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ අබියස පැයක නිශ්ශබ්ද වන්දනාවක් කරන ලෙස පාප් වහන්සේ ගේ රදගුරු පදවිය වන රෝමයේ අනුනායක බල්දසාරේ රීනා කාදිනල් හිමි එම පදවියේ සියලුම මීසම් වලට උපදෙස් දී තිබේ. "කිතුනු සංඝය එක්ව යාච්ඥා කරන විට එය කෙතරම් ශක්තිමත් දැයි අප දන්නවා. ..මේ නිසා මේ සංකීර්ණ මොහොතට මුහුණ දීමට අපේ රදගුරු තුමන් ශක්තිමත් කරන ලෙස එක පවුලක සාමාජිකයන් ලෙස අපි අපේ සමිඳුන් ගෙන් ඉල්ලා සිටිමු.." එතුමා සිය උපදෙස් ලිපියේ සඳහන් කළේය.
![]() |
පිලිපීනයේ මැනිලා ආසන දෙව්මැදුර ද ... |
ආජන්ටිනාවේ පාප් වහන්සේ නායකත්වය දැරූ බුවනෝස් අයර්ස් පදවියේ ආසන දෙව්මැදුර ද සිය හිටපු රදගුරු තුමන් වෙනුවෙන් යාච්ඥා කිරීමට රැස්වූ ජනතාවගෙන් පිරී තිබිණි. එම පදවියේ දුප්පත් ජනතාව ජීවත් වූ වතු වලින් එකක් වූ "31කේ වත්තේ" ජනයා කලක් තමන් වෙනුවෙන් පෙනී සිටි නිතරම තමන් බලන්නට ආ "දුප්පතුන් ගේ රදගුරු තුමා" වෙනුවෙන් දෙවිඳුන්ට කන්නලව් කරමින් සිටියහ. අන්ත දුප්පත් ජනතාව ජීවත් වූ පැල්පත් නිවාස වූ මේවා ධනවතුන් විසින් හඳුන්වනු ලැබූයේ "කාලකන්නි වතු" ලෙසය. ප්‍රන්සි සුදොතුම් පියතුමා රදගුරුතුමා ලෙස සිටි සමයේ එතුමා මේ වතු වල ජනතාවට බොහෝ ආදරය කළේය.
ආසියාවේ කතෝලික බහුතරයක් සහිත එකම රට වන පිලිපීනයේ ජනතාව ද මේ වන විට පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කරමින් සිටිති. 2015 ජනවාරි මාසයේ තමන් දකින්නට පාප්වහන්සේ පැමිණි ගමන ගැන මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔවුහු සිහිපත් කළහ.
ගාසාවේ ජනතාව ද පාප්වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීම විශේෂත්වයකි. එතුමන් ගේ පිරිහුණු සෞඛ්‍ය තත්ත්වය ගැන නොසලකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගාසාවේ ජනතාව සමග සම්බන්ධ වෙමින් සිටි බව ගාසවේ ශුද්ධවූ පවුලේ මීසමේ මීසම් සේවක ගාබ්‍රියෙල් රොමනෙල්ලි පියතුමා කීවේය. "එතුමා කතා කරන විට එතුමා ගේ කට හඬේ වෙහෙස වූ ගතියක් තිබුණා' එතුමා වතිකාන ප්‍රවෘත්ති සේවයට කියා සිටියේය.
"පෙබරවාරි 16 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මගේ ජංගම දුරකතනයට ලිඛිත පණිවිඩයක් ඒවා තිබුණා. තමන් වෙනුවෙන් යාච්ඥා කිරීම ගැන එතුමා මීසමේ ජනතාවට ස්තුති කර තිබුණා. ඒ වගේම මීසමේ ජනතාවට එතුමා ගේ ආශීර්වාදය දානය කරන බවත් කියා තිබුණා," පියතුමා සඳහන් කළේය.
Comments
Post a Comment