රෝහල් ගතව සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රථම වතාවට ජනතාව ඉදිරියට එයි. සුපුරුදු "thumbs-up" සංඥාව දී ජනතාව ආසිරි ගන්වයි. රෝහලෙන් නික්ම සාන්ත මාර්තා ගෙදරට යයි. (Vedio)

Pope Francis appears in public for the first time after long hospitalization. Returns to Vatican through the Basilica of Maria Magiore (Vedio)



(2025 මාර්තු 23)

ශ්වසන සංකුලතා හේතුවෙන් දින 38ක් රෝහල් ගත වී සිටි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අද (මාර්තු 23 ඉරිදා) ප්‍රථම වරට රෝහල් බැල්කනියට පැමිණ ජනතාව ගේ ආචාර පිළිගෙන ජතාවට ආශීර්වාද කළේය. 

එතුමා අද මෙසේ ජනතාව හමුවට එන   බව ඊට කලින් රෝහල විසින් දැනුම් දී තිබිණි. මේ  අනුව දහවල් 12 වන විට සුදොතුම් පියතුමන් තමන් ප්‍රතිකාර ලබන රෝමයේ ජෙමෙල්ලි රෝහලේ  පස්වැනි මහලේ  බැල්කනියට පැමිණෙන බව වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කර  තිබිණි. මේ අනුව සාමාන්‍යයෙන් ඉරිදා  දහවල් දොළහට තුන්කාල ආරාධනා මරිය දැහැන සඳහා  වතිකාන අපෝස්තලික මාලිගයේ බැල්කනියට පැමිණෙන සුදොතුම් පියතුමන් දින 38ක දීර්ඝ කාලයකින්  පසුව දැකගෙන එතුමන්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කිරීමට පැමිණි රෝමයේ, සමස්ත  ඉතාලියේ මෙන්ම ලෝකයේ විවධ රටවලින් පැමිණි ජනතාවගෙන් ජෙමෙල්ලි රෝහල් පරිශ්‍රය පිරි  ගොස් තිබිණි. ඔවුහු බොහෝ වෙලාවක් එතුමා පැමිනෙන් තෙක් නොඉවසිල්ලෙන් සහ උද්‍යෝගයෙන්  බලා සිටියහ. 

Thumbs-up 

දහවල් 12.01ට එතුමා සුපුරුදු ලෙස සිය රෝද පුටුවෙන් රෝහල් බැල්කනිය වෙත පැමිණියේය. එසැනින්  "Papa Francesco"   ("සසුන් පිය ප්‍රැන්සිස්") සහ "Viva il papa!" ("ශුද්ධෝත්තම පියතුමාට දීර්ඝායු වේවා!")  යන ප්‍රීති ඝෝෂා වලින් සහ දැවැන්ත අත්පොලසන් නාදයෙන් හාත්පස පිරී ගියේය. 



එතුමා සිය දෑත් වනමින් ජතාවට පෙරළා  ආචාර කළේය. රෝහල් බිමේ සිට එතුමන්ට සුබ පතන්නන් අතර   කහ පැහැති මල් කළඹක් ගෙන ඉතාලියේ කැලිබ්‍රියා සිට  එම ස්ථානයට පැමිණ සිටි කාර්මෙලා මනුස්කෝ වෙත එතුමා ගේ නෙත යොමු විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සුපුරුදු සුන්දර සිනහවට සැනෙකින්  පණ ලැබිණි. සිය ඇඟිල්ල දිගු කරමින්   "කහ පාට මල් කලඹක් ගත් කාන්තාවකුත් මට පේනවා...Brava ලස්සනයි  !" යයි සිය හඬ ද අවදිකරමින් සුදොතුම් පියතුමා කීවේය. සිය සුපුරුදු "Thumbs-up" ආචාරය කල එතුමා ඉන් අනතුරුව රැස්ව සිටි ජනතාව ආසිරි ගැන්වීය. ඉන් පසු මොහොතක් ජනතාවගේ ප්‍රාර්ථනා පිළිගත් එතුමා බැල්කනියෙන් ඉවත්ව ගියේය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙහෙසට පත්වී සිටින බව  පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එතුමා තවමත් හුස්ම ගන්නේ ද අපහසුවෙන් බව පැහැදිලි විය. එතුමාගේ කටහඬ ද තවමත් ඉතා දුර්වලය. එතුමා කතා කළ  වචන ස්වල්පය ද කතා කළේ අපහසුවෙනි. 

"තවමත් පවතින රෝග ලක්ෂණ - සාමාන්‍යයි" - වෛද්‍යවරු  

මේ සියලු ලක්ෂණ සාමාන්‍ය බව ජෙමෙල්ලි රෝහලේ එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායම පවසති. ඔවුන්  මේ බව කියා සිටියේ  ඉරිදා පැවති මාධ්‍ය හමුවක දී ය. සති හතරකට වැඩි කාලයක් දරුණු  නියුමෝනියාවෙන් පෙළුණු රෝගියකුට සුවපත් වන කාලය පුරාම  මේ ලක්ෂණ පවතින බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. සිය සුවපත් වීමේ කාලය සඳහා සාන්තා  මාර්තා ගෙදරට යාමට සුදොතුම් පියතුමා මහත් ඕනෑකමින් සහ බලාපොරොත්තුවෙන් සිටියේය. දැන් ඒ තරමට එතුමන්ට සුවය ලැබී ඇති බව වෛද්‍ය නිගමනයයි. 

කෙසේ නමුත් එතුමාට විශේෂයන් ම නින්දට යන අවස්ථාවල  තව දුරටත් අතිරේක ඔක්සිජන් ලබා දිය යුතු බවත්, ශ්වසන භෞතචිකිත්සාව සහ කට හඬ සඳහා භෞත චිකිත්සාවත් අවශ්‍ය බවත් වෛද්‍යවරු කියා සිටියහ.  ඔවුන් ගේ නිගමනයට අනුව පූර්ණ සුවය ලැබීමට  තවත් මාසයක හෝ දෙකක පමණ කාලයක් ගත වනු ඇත. කෙසේ වුවද එතුමා ගේ නියුමෝනියා තත්ත්වය සුවපත් වී තිබේ. 

රෝහලින් සාන්ත මරිය මැජෝරේ බැසිලිකාවට 

ජනතාව ආසිරි ගැන්වීමෙන් ටික වෙලාවකට පසුව සුදොතුම් පියතුමා සිය රෝද පුටුවෙන් ජෙමෙල්ලි රෝහලේ පහත මාලයට පැමිණියේය.

ජනතාව බලා සිටිද්දීම සිය කුඩා ෆියට් මෝටර් රථයේ  සුපුරුදු ලෙස  ඉදිරි අසුනේ වාඩි වී රෝහලෙන් පිටව ගියේය. එතුමන් නික්ම යනු බලා සිටි ජනතාව යලිත් එතුමාට සුව පතමින් ප්‍රීති ඝෝෂා කළහ. රෝහලේ සිට යන මග දෙපස ද රැස්ව සිටි ජනතාව ඉතා ප්‍රීතියෙන් එතුමන්ට ආචාර කරනු දක්නව ලැබිණි. 

එතුමා රැගත් ෆියට් රථය කෙලින්ම වතිකානයට ගියේ  නැත. එම රථය මුලින්ම නතර කලේ රෝමයේ ප්‍රධාන බැසිලිකා පහෙන් එකක් වන සාන්ත මරිය මැජෝරේ (St. Mary Major) බැසිලිකාව ඉදිරියේ ය. මේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ඉමහත් බැතියට ලක් වූ මරිය මෑණියන්ට කැපකළ දෙව්මැදුරයි. මේ බැසිලිකාවේ වම්  පස  අතු පල්ලියයේ ඇති "රෝම ජනතාවගේ සරණය වන මරිය මෑණියන්ගේ" (Mary Salus Populi Romani) පිළිරුව ඉදිරියේ යාච්ඥා කිරීමට එතුමා  මහත් සේ ප්‍රිය කරයි. තමන්  සසුන් පිය ධුරයට තේරී පත්වූ දිනට  පසු දා  තුමා එම පිළිරුව ඉදිරියේ සිට යාච්ඥා කළේය. ඉන් පසුව රෝමයෙන් පිටටත් , විශේෂයන් විදේශ දූත ගමනක් යන්නට පෙර සහ පෙරළා පැමිණි පසුවත්, සැත්කමත් සඳහා රෝහලට යන්නට පෙර සහ ආපසු පැමිණි පසුවත් මේ පිළිරුව ඉදිරියට පැමිණ යාච්ඥා කිරීම හෝ තුති දීම  එතුමා ගේ පුරුද්දක් වී තිබේ. ඒ බැතිය නොකඩමින් එතුමා රෝහලෙන් පිටව අද  වතිකානයට යන අතරත්  මේ බැසිලිකාවට ගියේය. 

මරිය මැජෝරේ බැසිලිකාවේ අගපුදැදුරු (Archpriest) රෝලන්ඩාස් මැක්‍රිකාස්  කාදිනල් හිමියන්  විසින් බැසිලිකාවේ ප්‍රධාන දොරටුවේදී සුදොතුම්  පියතුමන් පිළිගැනිණි. දෙව්මවුන්ට පිළිගැන්වීම සඳහා  තමන් රැගෙන ආ මල් කලඹ කාදිනල් හිමියන්  අතට දුන් සුදොතුම් පියතුමා එතුමන් සමග  වචන කිහියක් කතා කර වතිකානයේ සාන්තා මාර්තා ගෙදර බලා පිටත් විය.  

Welcome Home, Holy Father ! 

අද දහවල් සාන්ත පීතර බැසිලිකාවේ සීනු ප්‍රීතියෙන් නාදවනු අසන්නට ලැබිණි. ඒ  සුදොතුම් පියතුමා සුවය ලබා පැමිණි බව දැන්වීම් සඳහාය. 

සබැඳි පුවත් 

BREAKING: රෝහල් ගත වී සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දරුණු ඇදුම තත්වයකට මුහුණ දෙයි. "තත්වය තරමක් අයහපත්" -වතිකානය කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ තත්වය දරුණු අතට: ආජන්ටිනාවේ 'කාලකන්නි වතු" ඇතුළු ලොව පුරා ජනතාව පාප් වහන්සේ වෙනුවෙන් යාච්ඥා කිරීමට රොක්වෙති

Updates: "සුදොතුම් පියතුමා රෝහලේ නිසංසල රාත්‍රියක් ගත කළා" -වතිකානය . "මට දක්වන සෙනෙහසට ස්තුතියි!" පාප් තුමා රෝහලේ සිට කියයි

"සිරස" පුවත වැරැදියි - ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු කතාවක් මෙතෙක් සිදු වී නැහැ. "අප මේ මොහොතේ සිතන්නේ ශුද්ධෝත්තම පියතුමා සුව වී පැමිණ යලිත් සිය සේවාව ආරම්භ කිරීම ගැන පමණයි" වතිකාන රාජ්‍ය ලේකම් කියයි

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලේ දසවැනි රාත්‍රිය විවේකීව ගත කරයි. ඉරිදා දිව්‍ය පූජාවට එක් වෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තත්වය ස්ථාවරයි. යාන්ත්‍රික ශ්වසන සහය ඉවත් කෙරේ රෝම වැසියන් එතුමන් වෙනුවෙන් යාච්ඥා කිරීම දිගටම

  💌 To #PopeFrancis with love! ❤️🙏🏽 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පදවියේ ජනතාවගෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට යැදුම් වීඩියෝ කළඹක් (Vedio) - "එතුමන් වෙනුවෙන් යදින්නට රෝමය සමග එක්වෙන්න" එම පදවියෙන් ලෝක කතෝලික ජනතාවට ඇරැයුම්





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය