"මා වෙනුවෙන් යාච්ඥා කරන ඔබට ස්තුතියි!" - ශුද්ධෝත්තම පියතුමා රෝහලේ සිට සිය ප්‍රථම හඬ පණිවිඩය එවමින් කියයි (Vedio) - මේ අතර මරණය වෙනුවෙන් යදින ට්‍රම්ප්වාදී 'පූජකවරු'


(2025 මාර්තු 6)

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ජෙමෙල්ලි රෝහලේ සිට එවන ලද පටිගත කරන ලද හඬ පණිවිඩයක් මගින් තමන් වෙනුවෙන් යාච්ඥා කරන සහ සුවය සඳහා සුබ පැතුම් පතන සියල්ලනට ස්තුති කරයි.  රෝහලේ  දී පටිගත කරන ලද මේ කෙටි  හඬ පටය මාර්තු 6 වැනිදා රාත්‍රී සාන්ත පීතර බැසිලිකා චතුරශයේ දී පවත්වන ලද ජපමාල යැදුම   අවස්ථාවේදී ජනතාවට ඇසෙන්නට සලස්වන ලදී. 

එම හඬ පටයෙන් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සිය මව් බස වන ස්පාඥ්ඥ බසින් ජනතාව අමතමින් මෙසේ කියයි:

"චතුරශ්‍රයේ සිට සහ ලොව විවිධ ප්‍රදේශ වල සිට මා වෙනුවෙන් යාච්ඥා කරන ඔබට මම මගේ හද පත්ලෙන්ම ස්තුති කරනවා. මම මෙහි සිට ඔබ කැටුව  යමි. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා ! කන්‍ය මරියා මාතාවෝ ඔබ ආරක්ෂා කරත්වා! ස්තුතියි."


(වතිකාන මීඩියා සහ රොයිටර් පුවත් සේවයෙන් උපුටාගෙන පිලිපීනයේ ABS-CBN නාලිකාවේ ප්‍රචාරය වූ පුවතිනි.)

ශුද්ධෝත්තම පියතුමා ගේ හඬ බැරෑඬි වී තිබුණු බව පැහැදිලි වූ අතර එතුමා අමාරුවෙන් හුස්ම ගන්න බව ද පැහැදිලි විය. මෙය බ්‍රහස්පතින්දා පටිගත කල බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය. 

"අප මෙහි එකතු  වී සිටින්නේ ශුද්ධවූ සභාවේ මාතාවන් ද යහපත් අනුශාසනා දායක වූ මාතාවන් ද වන මරිය මෑණියන් සමග ප්‍රැන්සිස් ශුධෝත්තම පියාණන් ගේ සුවය වෙනුවෙන් යාච්ඥා කිරීමටයි." ජපමාලය ආරම්භ කරමින් බ්‍රහස්පතින්දා ජපමාල  යැදුම මෙහෙය වූ කැපවූ ජීවිත ගතකරන්නන් ගේ ආයතන සහ අපෝස්තලික ජීවිත සංගම්  පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානි ස්පාඥ්ඥ ජාතික අන්හෙල් ෆර්නැන්ඩස්‌ ආර්තිමේ කාදිනල් හිමි  කියා සිටියේ ය. 

"විමුක්තිදායකයාණන් ගේ මෑණියන් වීමට සුදුසු වීමට අවශ්‍ය සෑම වරප්‍රසාදයකින්ම සමිඳාණෝ  නාසරෙතයේ මරියාවන්  පරිපූර්ණ කළා. ශුද්ධාත්මයානන්ගේ මග පෙන්වීම අනුව ඕ තුමිය සෑම මොහොතකම සහ සෑම දෙයක් තුළින්ම දේව කැමැත්ත සෙවුවා. එසේම ඇය සෑම විටම දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවට ප්‍රශංසා කරමින් ක්‍රිස්තුන් වහන්සේට ඉතා ලෙන්ගතුකමින් සම්බන්ධව සිටියා. විශ්වාසිකයන් ගේ අම්මා ද ස්ථිර සරණය ද වන එතුමිය වෙත අප විශ්වාසයෙන් හැරෙනවා," යි කාදිනල් හිමි කියා සිටියේය. 

සුවය නොව මරණය වෙනුවෙන් යදින්නෝ 

මේ අතර තමන් ප්‍රන්සිස්  පාප් වහන්සේ ගේ මරනය වෙනුවෙන් යාච්ඥා කරන බව පවසමින් එසේ යාච්ඥා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලන වීඩියෝ රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මේ අතරින් බොහොමයක් පූජකවරුන් -  විශේෂයෙන් ට්‍රම්ප්වාදී ඇමෙරිකන් පූජකයන් - විසි කරන ඒවා වීම කම්පනය ගෙන දෙන්නකි. 

ඔවුන් දැනටම සිය යූටියුබ් කතා මගින්  පාප්තුමන් ගේ "චාරිත්‍ර පවත්වා" ඊළඟ පාප් වහන්සේ ද පත් කර "සතුටින් විසිර ගොස්" ඇති ස්වරූපයක් දක්නට ලැබේ.

මේ වෛරසට  මුල පිරුවේ ඇමරිකාවේ නිව්යෝක් අගරදගුරු තිමති ඩෝලන් කාදිනල් වරයාය. ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ද ඔහු ගේ වචන වලින් නොමග ගොස් සිටියහ.   ඔහු මුල් සමයේ සිටම ප්‍රන්සිස්  පාප වහන්සේ විවේචනය කල අන්ත දක්ෂිනාංශික කාදිනල් වරයෙකි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  ගේ ක්‍රියාකාරකම් විවේචනය කල ඔහු එදා සිටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරකම් අගය කළේය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමේ උත්සවයේ කතෝලික ආශීර්වාදය සඳහා කාදිනල් ඩෝලන්ටම ආරාධනා කලේ ඔහු ඒ තරම්ම වහලකු බව දන්නා නිසාය.  

එහෙත් වතිකානය සහ රෝම රදගුරු පදවිය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සුවය පිණිස යාච්ඥා කරන ලෙසයි. සෑම  දිනෙකම රාත්‍රියේ වතිකානයේ පැවැත්වෙන මරිය යැදුම කාදිනල් තුමකු විසින් මෙහෙයවනු ලබන්නේ ද සභාවේ ස්ථාවරය තහවුරු කරනු පිණිසය. 

සංස්කාරක සටහන

දෙවියන් වහන්සේ ගේ කැමැත්ත කුමක්දැයි අපි නොදනිමු. එහෙත් සුදොතුම් පියතුමන් ගේ සුවය වෙනුවෙන් අප යාච්ඥා කරන්නේ නම්, අප ප්‍රකාශ කරන්නේ එතුමන් වෙත වන අපගේ ප්‍රේමය ය. එය තේරුම් ගන්නා සදා කාරුණික, පරම ප්‍රේමනීය, පරම යහපතාණන් වන දෙවියන් වහන්සේ එම යාච්ඥා  සිය කැමැත්ත අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යහපත වෙනුවෙන් භාවිත කරනු ඇත. ('මරණය වෙනුවෙන් යදින' පූජක, රදගුරු නුවන සහ ප්‍රේම  හීනයන් තේරුම් නොගන්නා සත්‍යය එයයි.)

  


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය