මගේ මිහිමත ගමනේ අවසානය මේ පෞරාණික සිද්ධස්ථානය තුළ සිදු වේවා!" සුදොතුම් පියතුමා 12 වැනි දා මරිය මැජෝරේ බසිලිකාවට ගියේ මේ පැතුම ඉටුවන බව දන්නා නිසා ද? "මගේ දේහය මේ පෙම්බර බැසිලිකාවේ මිහිදන් කරන්න" - සගසැපත් සුදොතුම් පියතුමා ගේ ආධ්‍යාත්මික අවසන් කැමැත්ත ප්‍රසිද්ධ කෙරේ Pope Francis' spiritual testament: "Let my mortal remains rest in the Papal Basilica of Saint Mary Major."

සාන්තා මරිය මැජෝරේ බැසිලිකාවේ මේ දිනවල තබා ඇති සුදොතුම් පියතුමාට ගෞරව කරන පින්තුරයක් 


(2025 අප්‍රේල් 21)

"මගේ මිහිමත වන්දනා ගමනේ නිමාව රෝමයේ සාන්තා මරිය මැජෝරේ (Saint Mary Major.") බැසිලිකාව තුළ සිදු වේවායි මම ප්‍රාර්ථනා කරමි.... මගේ මෘත දේහයද මෙම සසුන් පිය බැසිලිකා දෙව් මැදුරේ ම මිහිදන් කරන ලෙස මම ඉල්ලා සිටිමි" යි ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ආධ්‍යාත්මික අන්තිම කැමැති පත්‍රයේ ලියා  තබා තිබේ. එම අන්තිම කැමති පත්‍රය වතිකානය විසින් අද ප්‍රසිද්ධ  කරන ලදී. 

රෝමයේ පාප් වහන්සේ ගේ බැසිලිකා දෙව්මැදුරු වලින් එකක් වන සාන්තා මරිය මජෝරේ බැසිලිකාවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මහත් ආදර භක්තියක් දැක්වීය. එහි තැන්පත් කර ඇති "රෝමයේ ආරක්ෂිකාව වන අපගේ ස්වාමිදුව" ඉමේජය ඉදිපිට හිඳගෙන එතුමා නිතර පෞද්ගලිකව යාච්ඥා කළේය. රෝමයෙන් පිටත ගමනක් යන්නට පෙර - විශේෂයෙන් ම විදේශ අපෝස්තලික චාරිකාවකට පිටත් වන්නට පෙර හා පසුවත් රෝහල් ගත වීමකට පෙර හා පසුවත් එතුමා මේ පින්තුරය ඉදිරිපිට සිට යාච්ඥා කිරීමට පුරුදු වී සිටියේය. කෝවිඩ් වසංගත සමයේ දී ද එතුමා මේ දෙමැදුරට ගොස් රෝමය හා ලෝකය වෙනුවෙන් යාච්ඥා කළේය.  තමා විශ්‍රාම ගතහොත් මේ දෙව්මදුරට ගොස් සැදැහැවතුන්ට පාපොච්චාරණ සක්‍රමේන්තුව දෙමින් අවසන් කාලය එහි ගත කරන බව ද එතුමා කියා තිබිණි. 

පාප් වහන්සේලාගේ මේ ඉතිහාසගත  සම්ප්‍රදායෙන් ඉවත් වෙමින් සිය දේහය මිහිදන් කරන ලෙස එතුමා ආධ්‍යාත්මික අන්තිම කැමැත්තෙන්  උපදෙස් දෙන්නේ ද මේ බැසිලිකා දෙව්මැදුර තුළ ය. 

එපමනක් නොව සිය ගමනේ අවසන් හෝරාව මේ දෙව්මැදුරේ ගත වේවා යි ද එම අන්තිම කැමැත්තේ  එතුමා ප්‍රාර්ථනා කරයි. 

පුදුමයකට මෙන් සුවය ලබමින් සිටිය එතුමා ගොබ් ඉරිදා ට පෙර දින එනම් 12 වැනි සෙනසරාදා සන්ධ්‍යාවේ එම දෙව්මැදුරට ගොස් දේව මාතා වහන්සේ ගේ පින්තුරය ඉදිරිපිට හිඳගෙන  යාච්ඥා කල බව වතිකානය වාර්තා කර තිබිණි. එතුමන් නොදැන හෝ  එම දෙව්මැදුරට එදින  ගියේ  මේ ප්‍රාර්ථනය ඉටු වීමට ද? එය දෙවිඳුන් විසින් එතුමන් ගේ පත්ම යම් ආකාරයකින් ඉටු කිරෙමක් ද? 

සුදොතුම් පියතුමා මරිය මැජෝරේ දෙව්මැදුරේ යාච්ඥා කරමින් 


2022 ජුනි 29 දින අත්සන්  කරන ලද සුදොතුම් පියතුමන් ගේ  එම ආධ්‍යාත්මික  අන්තිම සම්පුර්ණයෙන් මෙසේය:

"මගේ මිහිමත ජීවිතයේ සන්ධ්‍යා හෝරාවට ලංවෙමින් සිටින බව මට දැන් හැඟී  යමින් තිබේ. මේ නිසා අනන්ත ජීවිතය ගැන දැඩි බලාපොරොත්තුවෙන් යුතුව මගේ දේහය මිහිදන් කරන ස්ථානය සම්බන්ධයෙන් මගේ අන්තිම පැතුම රැගත්  මගේ ඉල්ලීම ලියා තබන්නට කැමැත්තෙමි.

සොහොන් ගැබ සූදානම් කරන තැන 

මගේ ජීවිතය පුරාම සහ පියතුමකු සහ රදගුරු තුමකු ලෙස මා  සේවය කල කාලය පුරාමත් මා නිතරම මගේ ජීවිතය අප සමිඳුන් ගේ මෑණියන් වන භාග්‍යවන්ත කන්‍ය මරියාවන්ට පවරා දී තිබිණි. මේ නිසා මගේ මෘත දේහය - උත්ථානයේ දිනය වන තෙක් - සාන්ත මරිය මැජෝරේ දෙව්මැදුරේ මිහිදන් කරන මෙන් ඉල්ලමි. 

සෑම අපෝස්තලික ගමනකටම  පෙර සහ එය අවසන් වීමෙන් පසුව මගේ ඉල්ලීම් විශ්වාසයෙන් කන්‍ය මරියාවන් අතට භාරකරමින් සහ එතුමිය ගේ මෘදු මාතෘක ආරක්ෂාවට ස්තුති කරමින්  මා නිතරම නතර වී යාච්ඥා කරන මේ පෞරාණික මරිය සිද්ධස්ථානය තුළ මගේ මිහිමත ගමන අවසන් වේවා යි ද මම  ප්‍රාර්ථනා කරමි.

මගේ සොහොන් ගැබ මීට අමුණා ඇති සිතියම අනුව  රෝම  ජනතාව ගේ ආරක්ෂාව වන දේවමාතාවන් ගේ පල්ලිය අසල සූදානම් කරන්නැයි ඉල්ලමි. 

සරලව, අලංකාර නොකර  හදන්න 

එම ගැබ පොළොවේ ඉතා සරලව, කිසිදු අලන්කරණයකින් තොරව සෑදිය යුතු ය. එහි තිබිය යුත්තේ එකම  ශිලා ලේඛනයක් පමණි. එනම් "ප්‍රන්සිස්කුස්" යන්න පමණි.

වය වන මුදල ලැබෙන්නේ කොහෙන්ද ?

මිහිදන් කිරීම සඳහා වැයවන මුදල පරිත්‍යාගශීලියකු විසින් කෙලින්ම සාන්තා  මරිය මැජෝරේ සසුන් පිය  බැසිලිකාවට යවනු ලැබීමට මා  කටයුතු සලස්වා තිබේ. මේ පිළිබඳව අවශ්‍ය උපදෙස් මේ වන විටත් මවිසින් ලයිබේරියාන බැසිලිකාවේ විශේෂ කොමසාරිස්  රෝලන්දාස් මැක්රිකාස් කාදිනල් හිමිපාණන්ට ලබා දී තිබේ. 

"මා වෙනුවෙන් යාච්ඥා කරන අයට මගේ ආශීර්වාදය"

මට ප්‍රේම කරන  අයටත් මා වෙනුවෙන් නොකඩවා යාච්ඥා කරන අයටත් නිසි ත්‍යාගය සමිඳාණන් වහන්සේ දානය කරන සේක්වා ! මගේ ජීවිතයේ අවසන් භාගයේ මා හට විඳින්නට සිදු වූ සියලු දුක් වේදනා, ලෝකයේ සාමය උදෙසාත් සියලු ජනතාව අතර සහෝදරත්වය උදෙසාත් මම ස්වාමීන් වහන්සේ ට ඔප්පු කරමි."

සාන්තා මාර්තා, 2022 ජුනි 29

ප්‍රැන්සිස් "

සරල, දේව විශ්වාසයෙන් පිරුණු, යහපත් මිනිසකු ගේ ආධ්‍යාත්මය 

මේ අන්තිම කැමති පත්‍රය  වූ කලී ඉතා සරල, දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන, යහපත් මිනිසකුගේ ආධ්‍යාත්මයේ පහන් බව, එනම් කිතුනු වචනයෙන් :ශුද්ධවන්ත භාවය" පිලිබඳ කැඩපතකි. 

අවුරුදු 600කට පසුව ස්වකීය කැමැත්තෙන  ම වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ භූමියෙන් යට පිහිටි පාප් වහන්සේලාගේ සොහොන් ගැබක මිහිදන් නොවන  ප්‍රථමයා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය. 

එසේම, සභාවට එහි පිරිවැය නොතබා සියල්ල එතුමන් විසින් ම සූදානම් කර තිබේ. 

බස් එක - කෝච්චිය - ෆියට් කාර් එක 

බුවනොස් අයර්ස්හි කාදිනල්  අගරදගුරු හිමි ලෙස සුඛ විහරණ පිරි අගරදගුරු නිවසින් අභිනික්මන් කොට සරල එපාට්මන්ට් නිවසක ජීවත් වූ එතුමා ගමන් බිමන් ගියේ බස් එකේ සහ කෝච්චියේ ය. බොහෝ විට එම එපාට්මන්ට් එකේ සිට මීසම් වලටත් නගරයේ මුඩුක්කු  නිවාස ප්‍රදේශ වලටත් ගියේ පා ගමනින් ය. 

පාප් වහන්සේ ලෙස වතිකානයේ ජීවත් වීම පටන් ගත් පසුව ද එතුමා මේ සරල ජීවිතය අත්හළේ නැත. ජීවත් වීමට සුඛ විහරණ සහිත අපෝස්තලික මාලිගාව අත්හල එතුමා කාසා  සාන්තා මාර්තා නමැති තානායමේ කාමරයක් තෝරා ගත්තේය. එහි වැසියන් සමග එකට ආහාර ගත්තේය. මුල් කාලයේ ගමන් බිමන් යාමට වතිකාන රජයේ පූල් එකෙන් මෝටර් රථයක් භාවිත කල එතුමා පසුව ඉතාලියේම නිෂ්පාදිත කුඩා ෆියට් රටහයම් භාවිත කළේය. එතුමා එම මෝටර් රථයේ ගමන් කලේ රජකු ලෙස පසු පස ආසනයේ නොව ඉදිරිපසින් රියදුරු සමග කතා බහ කරමිනි. 

මේ සරල ක්‍රිස්තු සේවකයා  අවසන් ගමන් යන්නේ ද ඒ සරල බවින්ම ය. 





Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය