ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ අවමංගල්‍ය දේව මෙහෙය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා. එතෙක් ජනතා ගෞරවය සාන්ත පීතර බැසිලිකාවේ. Pope Francis’ body to lie in state at St Peter's until funeral on Saturday morning
![]() |
සග සැපත් පාප් තුමන් ගේ දේහය දැනට සාන්ත මාර්තා ගෙදර තැන්පත් කර තිබේ |
(2025 අප්‍රේල් 12 )
ස්වර්ගස්ථ වූ ප්‍රන්සිස් සුදොතුම් පියතුමන් ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය ශුද්ධාසන මාධ්‍ය කාර්යාලය අද ප්‍රකාශයට පත් කළේය.
එතුමන් ගේ දෙහය මේ වන විට එතුමන් ජීවත් වූ කාසා සාන්ත මාර්තා ගෙදර පුංචි දෙව්මැදුරේ තැන්පත් කර තිබේ.
එම දේහය සාන්තා මාර්තා පල්ලියේ සිට සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර වෙත ගෙන යනු ලබන්නේ 23 වන බදාදා උදෑසන 9ටයි. මෙම දේහය මාරුකරනු ලැබීමේ දේව මෙහෙය කතෝලික සභාවේ කාමලෙන්ඥෝතුමන් වන, කාදිනල් කෙවින් ෆැරල් හිමිපානන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන බව වතිකාන මාධ්‍ය කාර්යාලය කියයි. සුදොතුම් පියතුමකු ගේ අභාවයෙන් පසුව එතුමන් ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගනු ලබන තෙක් වතිකාන රාජ්‍යයේ සාමාන්‍ය කටයුතු පාලනය භාර වන්නේ කාමලේන්ඥෝ ධුරය දරන කාදිනල් හිමියන්ටයි. ස්වර්ගස්ථ වූ පාප්තුමන් ගේ දේහය පිලිබඳ කටයුතු ද එතුමන් යටතේ සිදු කල යුතු ය.
දේහය සාන්ත පීතර බැසිලිකාවට ගෙන යනු ලැබීමෙන් පසුව පේදුරු තුමන් ගේ මහා ප්‍රකාශය පූජාසනයේ දී (The altar of Confession ) දේව වාක්‍යයේ ජනවන්දනා මෙහෙයක් සිදු කරනු ලැබේ. එය ද සිදු කරනු ලබන්නේ ද කාමලෙන්ඥෝ කාදිනල් හිමියන් ගේ ප්‍රධානත්වයෙනි.
මෙම මෙහෙයෙන් පසුව එම දේහයට සිය අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවකාශ ලබා දෙනු ඇති. බදාදා සිට සෙනසුරාද දක්වා දේහය දිවා රාත්‍රී ජනතා ගෞරවය සඳහා විවෘතව තැබේ.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ දේහය පිලිබඳ අවමංගල්‍ය දිව්‍ය පූජාව 26 වන සෙනසුරාදා පෙරවරු 10ට සාන්ත පීතර චතුරශ්‍රයේ දී සිදුකරනු ලැබේ. එය ඔප්පු කරනු ලබන්නේ කාදිනල් සංසදයේ නායක ජෝවන්නි බැප්ටිස්ටා රේ කාදිනල් හිමියන් ගේ ප්‍රධානත්වයෙනි. ලොව පුරා සෑම රටකින්ම රෝමයට පැමිණීමට නියමිත කාදිනල්හිමිවරුන්, පෙත්‍රියාක් වරුන්, අගරදගුරු සහ රදගුරු හිමිවරුන්, සහ පියතුමන්ලා එම දිව්‍ය පූජාව සැමරීමට එක්වෙති.
දිව්‍ය පූජාව අවසන් වීමෙන් පසුව සගසැපත් පාප් තුමන් ගේ දේහය සාන්ත පීතර බැසිලිකාව තුළට ගෙන ගොස් එතැන් සිට එය මිහිදන් කිරීම සඳහා වතිකාන පුර රාජ්‍යයෙන් පිටත ඇති සාන්තා මරිය මැජෝරේ බැසිලිකාවට ගෙන යාමට නියමිතයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලිඛිත අන්තිම කැමැත්ත අනුව එම දේහය සාන්තා මරිය මැජෝරේ දෙව්මැදුරේ රෝමයේ ආරක්ෂිකාව වන දේව මාතා වහන්සේ ගේ පින්තුරය සෙවනේ මිහිදන් කරනු ලැබීමට නියමිතයි.
සුදොතුම් පිය ධුරයට පත්වීමෙන් පසුව බොහෝ කාරණා පිලිබඳ "ප්‍රථමයෙකු" ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉතිහාසයට එක් විය. ගෝලීය දකුණේ කෙළවරින්ම බිහිවූ පළමු පාප් වහන්සේ, පළමු ඇමෙරිකානු පාප් වහන්සේ, ප්‍රැන්සිස් නම ගත් ප්‍රථම පාප්වහන්සේ සහ පළමු ජේසු නිකායින පාප් වහන්සේ එම "ප්‍රථම" කාරණා අතර වේ. දැන් එතුමා මරිය මජෝරේ දෙව්මැදුරේ මිහිදන් වීම මගින් තවත් වාර්තාවක් තැබීමට යයි.
Comments
Post a Comment