සසුන් පිය ප්‍රැන්සිස්: දුප්පතුන් ගේ සහ මිහිතලයේ වැලපිල්ල හද ගැස්ම කරගත් බටහිරට හිසරදයකුත් දුප්පතුන්ට ප්‍රබල හඬක් සහ සැනසීමකුත් වූ මානුෂවාදියා
![]() |
ප්‍රැන්සිස් යුගයේ උදාව |
දවස 2018 දෙසැම්බර මාසයේ ඉරුදිනකි. වෙලාව දහවලයි. ස්ථානය වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයයි. පාප් වහන්සේ විසින් මෙහෙයවනු ලබන "තුන්කාල ආරාධනාව" නම් කතෝලික ජනතාව ගේ බැතියට පාත්‍ර වී ඇති මරිය යැදුම සහ එතුමන් ගේ ආශීර්වාදය අවසන් වෙයි. ඊට සහභාගී වූ වන්දනාකරුවෝ එතැනින් ඉවත්ව යති.
චතුරශ්‍රයට රැස්වන පිරිස අතර ජංගම වෙළෙන්දෝ ද වෙති. යුරෝපීය සඟරාවක වාර්තාකරුවෙක් වෙළෙන්දෙකු ලඟට කිට්ටු කරයි.
"ප්‍රැන්සිස් පාප් වහන්සෙ පත් වුනාට පස්සෙ මෙතනට සෙනග වැඩි වෙලා නේද?" ඉතින් බිස්නස් සරු ඇති නේද?" ඔහු විමසයි.
වෙළෙන්දා නිව්යෝර්ක් ඉංග්‍රීසි උච්චාරණයෙන් උත්තර දෙයි: "දැන් මේ හාදය ... මේ හාදය කතා කරන්නෙම දුප්පතුන් ගැනනේ. ඉතින් මෙහාට එන්නෙම දුප්පත් රටවල වන්දනාකාරයො. උන් අතේ සල්ලි නෑ. රැට්සිඟර් (සොළොස්වන බෙනඩික් පාප්තුමා) ඉන්නැද්දි බලන්න එපාය. ජර්මන් කාරයො බස් පුරෝ පුරෝ ආව. උන් අත දිග ඇරල වියදම් කෙරුව. දැන් එන එවුන් ඩිස්කවුන්ට් ඉල්ලනව."
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පත්වීමෙන් පසුව වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට පැමිණෙන ජනතාව ගේ සංඛ්‍යාව අතිශයින් වැඩි වී තිබේ. එහෙත් ඒ අතර බොහෝ දෙනෙක් සිටින්නේ ආබාධිතයන්, විශේෂිත අවශ්‍යතා ඇතිවුවන් සහ ඔවුන් ගේ දෙමාපියන් ය.
ඒ එක සිද්ධියකි.
2016 පෙබරවාරි අවසන් සති අන්තයේ වතිකානයේ බොර්ගො නම් කුඩා නගරයේ පිහිටි සාන්ත ආනා දෙව්මැදුරේ උත්සවාකාර අවමංගල්‍ය දිව්‍ය පූජාවක් පැවැත්විණි. මෙවැනි දිව්‍ය පූජා සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ ස්වර්ගස්ථ වූ කාදිනල් හිමිවරුන්, රදගුරු හිමිවරුන් සහ පූජක වරුන් වෙනුවෙනි. එහෙත් මේ අවමංගල්‍ය මෙහෙය සිදු කරන ලද්දේ හදිසියේ මිය ගිය නිවාස රහිත පුද්ගලයකු වෙනුවෙනි. නිවෙසක්, රැකියාවක්, නෑ සියන් නොමැති homeless නමින් හැඳින්වෙන මෙවැනි පුද්ගලයෝ ලැබෙන දෙයක් කා බී රෝමයේ අගුපිල්වල රාත්‍රිය ගත කරමින් ජීවත් වෙති. බොර්ගෝහි කාගේත් ආදරය දිනා සිටි විලී හර්ට්ලියර් නමැති මේ 'හෝම්ලස්' පුද්ගලයා කිසිවෙකුත් නොදැන 2015 දෙසැම්බර 15 වැනිදා මියගොස් සිටියේය. අධික සීතලට හසු වී මිය ගිය ඔහු ගේ සිරුර රෝහලේ මෝචරියක තිබී පසුව හඳුනාගනු ලැබිණි. ඔහුට නිසි කතෝලික අවමංගල්‍යයක් දීමට වතිකානය තීරණය කළේය. දිව්‍ය පූජාවෙන් පසුව ඔහු භූමදාන කරන ලද්දේ බෝර්ගොවේ ප්‍රභූන් සඳහා වෙන් කරන ලද සුසාන භූමියක ය.
ඒ තවත් සිද්ධියකි.
මේ වූ කලී "ප්‍රැන්සිස් බලපෑම හෙවත් Francis Effect යනුවෙන් බටහිර මාධ්‍ය කරුවන් හඳුන්වන ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇති කල නවෝදය මගින් වතිකානයේ පැවති 'රාජකීය' 'මහේශාක්‍ය' මානසිකත්වය වෙනස් වූ ආකාරයයි. ඒ වෙනුවට ප්‍රැන්සිස් පාප් වහන්සේ වචනයට වඩා ක්‍රියාවෙන් පෙන්නුම් කල ලෙන්ගතු සේවක-නායක ආකල්පයට වතිකාන පාලනය හැඩගැසුණු ආකාරයයි.
වෙහෙස නොතකා - නිවාඩු නොගෙන
බොහෝ දෙනෙකු සිතුවේ ප්‍රැන්සිස් ධුර කාලය කෙටි එකකට සීමා වනු ඇති බවයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවා සිතුවේ ද එසේය.
"මේ ධුර කාලය කෙටි එකක් වේවි. සමහර විට අවූරුදු තුනක් හෝ පහක් " එතුමා වරක් කීවේය.
"මීලඟ යොවුන් දිනයට ම සමහර විට මා නොමැති වේවි. ඒත් සහතික ලෙසම පේදුරු තුමා එනවාමයි" පෝලන්තයේ පැවැත්වුණු ලෝක යොවුන් දිනය අවසානයේ යෞවනයන් නෙතගට කඳුලක් ගෙනෙමින් එතුමා කීවේය.
සිය ධුර කාලය කෙටි වනු ඇති බව සිතූ නිසාම සිය ගමන "මැරතන් " එකක් නොව "මීටර් 100 ඩෑෂ්" එකක් කරන්නට අවශ්‍ය බව එතුමා තේරුම් ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණ.
කාදිනල් හිමිවරුන් ගේ මහා සභාවේදී සාකච්ඡා කරන ලද කාරනා සේම තම ස්වර්ගීය ස්වාමියා තමන්ගෙන් බලාපොරොත්තු වන මෙහෙවර ඉටුකරගැනීම සඳහා එතුමා දිවා රාත්‍රී නිවාඩුවක් නැතිව වැඩ කලේ ඒ නිසාය. රෝමය චණ්ඩ සූර්ය තාපයෙන් දැවෙන ග්‍රීෂ්ම ඍතුවේ දී කලින් පාප් වහන්සේලා මෙන් කාසල් ගොන්දොල්ෆෝ නිවාඩු නිකේතනයට නොගිය එතුමා රෝමයේ සිට ම වැඩ කළේය.
මේ දොළොස් වසරේ එතුමා ගේ ගමන දෙස ආපසු බැලීමේ වටිනාකමක් ඇත්තේ ඒ නිසාය.
'කතෝලික මූලධර්මවාදීන්ට' හිසරදයක් - ලොව පුරා දුප්පත් ජනතාවට හඬක් සහ සැනසිල්ලක්
2013 දී කතෝලික සභාව අශ්චර්යයකින් මෙන් උඩුයටිකුරු වන තීරණයක් ගත්තේය. එනම් ගෝලීය දකුණේ කෙනෙකු පේදුරු තුමන් ගේ ආසනයට පත් කිරීමය. ( කතෝලික ජනතාවට පාප් වහන්සේ යනු ජේසු ගේ අග්‍රශ්‍රාවක පේදුරු තුමා ගේ අනුප්‍රාප්තිකයාය.)
මෙය "ආශ්චර්යයක්" නැතිනම් ප්‍රාතිහාර්යයක් බව පවසන්නේ කවදාවත් මිනිස් සිතිවිල්ලකින් නම් එහෙම දෙයක් සිදුවන්නට නොහැකි නිසාය. එතෙක් යුරෝපයේ සින්නක්කර අයිතියක් බඳු වූ සුදොතුම් පිය ධුරය, "පෘථිවියේ කෙලවරට" ගෙන යාවි යයි කිසිවකුටවත් සිතන්නට නොහැකි විය. එහෙත් වතිකානයේ සිස්ටයින් දෙව්මැදුරේ ඇති මයිකල් අන්ජෙලෝගේ තෙලි තුඩින් නිමවුණු "මිනිසා මැවීම" සහ "අන්තිම විනිශ්චය" යන අර්ථාන්විත සහ ප්‍රබල සිත්තම් දෙක සෙවනේ සිටි කාදිනල් හිමිවරුන් අතින් එය සිදුකරවන්නට කතෝලික සභාවේ ස්වාමියාණෝ පියවර ගත්හ.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ දැක්ම, ආකල්ප විකල්ප, ආධ්‍යාත්මය තේරුම් ගන්නට "පෘථිවියේ කෙලවර" පිහිටි එතුමා ගේ මේ "ගම් ප්‍රදේශය" ගැන සිතිය යුතු වන්නේ මේ සන්දර්භය තුළය.
ආජන්ටිනාව ඇතුළු ගෝලීය දකුනේ කිතුනුවන් නාසරෙතයේ ජේසු තරුණයාගේ - දේවපුත්‍රයාගේ - දහම දකින්නේ, නිර්වචනය කරන්නේ, තමන් ගේ ජීවිත අත්දැකීම් අනුවය. ඔවූන් ගේ ජීවිත, ආර්ථික, දේශපාලන, සමාජයීය ගැටුම් වලින්ද ජීවන අරගල වලින් හෙම්බත් වූ මිනිසුන් සහ ගැහැණුන්ගෙන් ද විමුක්ති සටන් වලින් ද සලකුණු වී තිබේ. හොඳින් නිරීක්ෂණය කරන විට නාසරෙතයේ ජේසු තරුණයා - දේව පුත්‍රයා - සිය දහම දේශනා කළ ජුදෙයාවේ පසුබිම ද සමාන වන්නේ යුරෝපයට නොව ආජන්ටිනාව ඇතුළු ගෝලීය දකුණටය. දේව පුත්‍රයාණන් වන ජේසු තරුණයා සිය ගැඹුරු ධාර්මික ඉගැන්වීම තුළ ජනතාවගේ ආධ්‍යාත්මික පමණක් නොව සමාජයීය විමුක්තියට ද ක්‍රියා කල ආකාරය මේ කලාපයේ ජනතාව ගේ අවධානයට ලක්විය. වහල් කමින්, දුප්පත්කමින්, සූරා කෑමෙන් ජනතාව මුදා ගන්නා විමුක්ති දේවධර්මය ලතින් ඇමෙරිකාවේ උපත ලබන්නේ ඒ අනුවය.
හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ කාදිනල් අගරදගුරු හිමි 2013 දී වතිකානයට එන විට තමන් සමග රැගෙන ආවේ දෙව්සත්හල් සහ දේවධර්ම විශ්වවිද්‍යාල දේශනා ශාලා වල ගිගුම් දුන් න්‍යායාත්මක දේවධර්ම ශාස්ත්‍රයට වඩා පෙර කී කටුක අත්දැකීම් සහිත මිනිසුන්, ගැහැනුන්, දරු දැරියන් අතර ජීවත් වෙමින් , ඔවුන් හා ගැටීමෙන් පොහොනි වූ දේවධර්ම ශාස්ත්‍රීය දැනුමක් සහ කුසලතාවකි. මිනිසුන් සහ ගැහැනුන් ගේ සිනහව සහ කඳුල, අරගල සහ ලේ ගැලීම්, ඔවුන් මුහුණ දෙන අයුක්තිය සහ අසාධාරණය, ඔවුන්ගේ කුසගින්න සහ රෝගීවීම, විරැකියාව සහ සංක්‍රමණය වැනි ජීවිත අරගල තුළ බෙර්ගෝලියෝ තම ස්වාමියාණන් ගේ මුහුණ, දුක, කඳුල, සිනහව, අසරණ වීම, සරණාගත වීම අත්දැක්කේය. පාප් වහන්සේ ලෙස තේරී පත්වූ පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළේ තමන්ට හමු වූ ඒ "ජේසුට" පේදුරු තුමන් ගේ අසුනේ සිට සරණ වීමට ක්‍රියා කිරීමය.
උපන් දා සිට සුඛ විහරන ලබන, දේවධර්ම උපාධිවලින් උකහා ගන්නා න්‍යායාත්මක දැනුමක් මිස ජනතාව තුළ සිටින සමිඳුන් අත්නොදකින උතුරු ඇමෙරිකානු සහ යුරෝපීය කතෝලිකයන්ට ගෝලීය දකුණෙන් ආ ලතින් අමෙරිකානුවාගේ මේ හද ගැස්ම අඳුනා ගන්නට නොහැකි විය.
" කෙනෙක් සමරිසි නම්, ඒ තැනැත්තා දෙවියන් වහන්සේ සහ උන්වහන්සේ ගේ කැමැත්ත සොයන්නේ නම්, ඔහු විනිශ්චය කරන්නට මම කවුද?" (If a person is gay and seeks God and has goodwill, who am I to judge him?) යි සමරිසි ප්‍රජාව පිලිබඳ ප්‍රශ්නයක දී එතුමා පිළිතුරු දුන් දා සිට බටහිර එතුමාට ගසන්නට ගල් අතට ගත්තේ ඒ නිසාය. සිය රටවලට එන සරණාගතයන් පිළිගන්නා ලෙස එතුමා කල ඉල්ලීම් ඇතැම් දැඩි කතෝලික රටවල් පවා ප්‍රතික්ෂේප කලේ ඒ නිසා ය. පල්ලියෙන් විවාහ වී ඇතැම් විට දරාගත නොහැකි ප්‍රශ්නයක් නිසා දික්කසාද වූ යුවල් පල්ලියට උණුසුමින් පිළිගන්නැයි එතුමා දුන් උපදේශය ගැන ඇතැම් විදග්ධයෙක් කිපුණේ ඒ නිසාය.
එහෙත් ගෝලීය දකුණ එතුමා වැලඳ ගත්තේය. එපමනක් නොව යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ දුක් විඳින ජනතාව ද එතුමා හඳුනාගත්තේය.
දුප්පත්කමට සමාන වචනය - "පෝප් ප්‍රැන්සිස්"
2013 මාර්තු 14 වන දා පාප් ධුරයට තේරී පත් වූ ආජන්ටිනාවේ බුවනොස් අයර්ස් පදවියේ අගරදගුරු හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ කාදිනල් හිමි සිය පාප් වර නාමය ලෙස "ප්‍රැන්සිස්" යන්න (Franciscus) යොදා ගත්තේය. එය දොළොස්වන සියවසේ ඉතාලියේ අසීසි නගරය දයා දියෙන්, සාමයේ වා රැල්ලෙන් නිවා ලූ යොවුන් සාන්තුවරයා ගේ නමයි. ධන කුවේරයකු ගේ එකම පුතා වූ ප්‍රැන්සිස් ඒ කාම සුඛල්ලිකානු ජීවිතය හැර දමා ක්‍රිස්තු ජීවිතයට කැප වී දුප්පතුන් අතර දුප්පතකු ලෙස ජීවත් වෙමින් ද ඔවුන්ට සරණ වෙමින් ද සොබා දහමට ආදරය කරමින් හා කුරුස යුද්ධය ප්‍රතික්ෂේප කර සාමය වෙනුවෙන් කැපවෙමින් ද ජීවිතය ගත කළේය. බෙර්ගොලියෝ කාදිනල් හිමි ප්‍රන්සිස් නම තෝරාගත්තේ මූලික කොටම සභාවේ සහ ලෝකයේ අවධානය දුප්පතුන් වෙත යොමු කිරීම සඳහාය. එසේම මහේශාක්‍ය ආයතනයක් බවට පවත් වී ඇති කතෝලික සභාව දිළිඳු, සරල, පාරදෘශ්‍ය සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා ය. "ආ ! දුප්පත් සභාවක්, දුප්පතුන් සඳහා වන සභාවක් දකින්නට මට කොතරම් උවමනා ද?" යි ගෝලීය දකුණේ දුප්පත්කම ගැන ජීවිත අත්දැකීම් ඇති එතුමා මුල් දිනවල කිවේය.
තේරී පත් වූ අලුත එතුමා රෝමයේ අනාගත පූජකවරුන් පුහුනුකරන දෙව්සත්හලක් බැහැදකින්නට ගියේ ය. එහි රැස්ව සිටි පූජක ශිෂ්‍යයන් අමතා එතුමා මෙසේ කීවේය: "බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් මිල දී ගන්න හදන තරුණ පූජක වරුන් දැක්කාම මට ටිකක් තරහ යනවා. බයිසිකලයකින් ගමන් යන්න උත්සාක කරන්න. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න හිතුනම 'අද රෑට කී දෙනෙක් බඩගින්නේ නිදන්න යනවාද' කියා හිතන්න."
තවත් අවස්ථාවක පුජකවරුන් කණ්ඩායමක් ඇමතු පාප් වහන්සේ කියා සිටියේ පළමු පාප්තුමන් වූ ක්‍රිස්තුන් වහන්සේ ගේ අග්‍ර ශ්‍රාවක පේදුරු තුමන්ට බංකු ගිණුමක් නොතිබූ බවයි.
ප්‍රැන්සිස් පාප්තුමා දේශනා කරනවාට වඩා සිය වචනයෙන් පණිවිඩ දුන්නේ ය. දුප්පත්කම ගැන ද එහෙමය.
එතුමා තම පුර්වගාමීන් මෙන් පාප් වහන්සේලා විසින් සම්ප්‍රදායිකව භාවිත කළ 'රාජකීය' ඇඳුම් ආයිත්තම් පැළඳුවේ නැත. ඒ වෙනුවට ඇන්දේ සුදු පැහැති ලෝගුව පමණි. සාම්ප්‍රදායිකව පාප්වහන්සේලා පයලූ රක්ත වර්ණ පාවහන් වෙනුවට ලාබෙට මිලදී ගත හැකි සපත්තු කුට්ටම් පැළඳුවේය. පාප් වහන්සේලා සාම්ප්‍රදායිකව ජීවත් වූ අපෝස්තලික මාලිගයෙන් අභිනික්මන් කොට රෝමයට පැමිණෙන කාදිනල් හිමිවරුන් ලැගුම් ගන්නා සාන්තා මාර්තා තානායමේ කාමරයක වාසයට ගියේය. එතුමා කලින් පාප් වහන්සේ ලා භාවිත කල සුඛෝපභෝගී වෙඩි නොවදින මෝටර් රථය ප්‍රතික්ෂේප කර ඉතාලියේ නිෂ්පාදිත අඩු මිල මෝටර් රථයක් සිය භාවිතයට ගත්තේය.
සෑම මහා බ්‍රහස්පතින්දා දිනකම එතුමා සමාජයේ අසරණම පිරිසකගේ පාද දෝවනය කරමින් සිය ස්වාමියා සිහිපත් කළේය. ඒ අතර සිටියේ කාන්තාවන්, සාංක්‍රමනිකයන්, සිරකරුවන් සහ සිරකාර කාන්තාවන්, මානසික සහ ශාරීරික ආබාධිතයන් ය.බොහෝ රටවල් සංචාර වලදී බන්ධනාගාරයකට, රෝහලකට යන්නට, එම රටවල සිටින සරණාගතයන්, අපයෝජන වින්දිතයන්, විදී දරුවන් (පිලිපීනය), යුද්ධයේ වින්දිතයන් (දකුණු සූඩානය සහ ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය) හමුවන්නට අවස්ථාවක් යොදා ගත්තේය. බංගලිදේශයේ දී එහි සිටි රෝහින්ග්‍යා සරණාගතයන් හමු වී ඔවුන්ගේ දුක් බර කතාවලට සවන් දීමෙන් පසුව මෙතෙක් කතෝලික නායකයකු කියන්නට බිය වූ අතිශය අභියෝගාත්මක කිතුනු ඉගැන්වීමක් කළේය. එනම් "රෝහින්ග්‍යා ජනතාව යනු අද දෙවියන් වහන්සේ ගේ පෙනී සිටීමයි." (Rohingyas are God's presence today) මෙය පදනම් වී ඇත්තේ ජේසුස් ක්‍රිස්තු සමිඳුන් ගේ ප්‍රධාන ප්‍රේමයේ ඉගැන්වීමක් මතය. එනම් "මම කුසගින්නේ සිටියෙමි... පිපාසාව සිටියෙමි.. සිරගතව සිටියෙමි .." යනුවෙන් සමාජයේ දුක්විඳින ජනතාව සමග තමන් අනන්‍ය කරගත් "අන්තිම විනිශ්චය" පිලිබඳ දේශනාවය.
![]() |
"අද රෝහින්ග්‍යා යනු දෙවියන් වහන්සේ ගේ වැඩ සිටීමය" බංගලිදේශයේ දී රොහින්ග්‍යා සරණාගතයන් ගේ දුක්බර කතා වලට සවන් දුන්නේය. |
විදේශ අපෝස්තලික ගමන් සඳහා වෙනත් කිසිදු පාප්තුමකු තෝරා නොගත් රටවල් එතුමා තෝරාගත්තේය. ඇතැම් විට ඒවායේ සිටියේ කතෝලික අති සුළුතරයක් ය. එසේම ජීවන තත්වය ඉතා අඩු රටවල් ය. ම්‍යන්මාර්, බංගලිදේශය, බොස්නියා සහ හෙර්සගොවිනාව, ඇල්බේනියාව සහ මැසිඩෝනියාව, මොංගොලියාව ඒ අතර නිදසුන් කිහිපයකි.
රෝමයේ නිවාස රහිත ප්‍රජාවට (Homeless) ප්‍රන්සිස් සුදොතුම් පියතුමා ගේ නිර්දේශ මත පාප්වහන්සේ ගේ දයාසේවා අංශය (Pope's Almoner) විවිධ පහසුකම් ලබා දුන්නේ ය. රාත්‍රිය නවාතැන් ගැනී මට සුවපහසු, උණුසුම් ගෙදරක්, සාන්ත පීතර බැසිලිකාව අසල ඔවුනට රැවුල බා, මුහුණ කට දොවා ගැනීමට ස්ථානයක් පමණක් නොව රෝමය ගිණි ගන්නා ග්‍රීෂ්ම ඍතුවේ ඔවුන් මුහුදු වෙරළකට ගෙන ගොස් පීට්සා දිවා භෝජනයක් ලබා දීම ද ඒ අතර විය. එතුමා එතනින් නැවතුනේ නැත. දුප්පතුන්ට කරන සේවාවේ වැදගත් කම අවධාරණය කිරීම සඳහා පාප් වහන්සේ ගේ දයාසේවාව භාර පෝලන්ත ජාතික කොන්රඩ් ක්‍රව්ජෙස්කි අගරදගුරු හිමියන්ට 2018 දී කාදිනල් ධුරයක් දුන්නේය. තම කාදිනල් ධුරය සැමරීම සඳහා ක්‍රව්ජෙස්කි හිමි රෝමයේ දුප්පතුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළේය. එතුමා ඒ ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට දන්වා තිබුනේ නැත. එහෙත් භෝජන සංග්‍රය ඇතුළත ක්‍රව්ජෙස්කි කාදිනල් හිමියන්ටත් "සර්ප්‍රයිස්" එකක් දෙමින් සුදොතුම් පියතුමා එහි පැමිණ දුප්පත්, හෝම්ලස් ප්‍රජාව සමග ආහාර ගත්තේය.
![]() |
ක්‍රව්ජෙස්කි කාදිනල් හිමි දුප්පතුන්ට දුන් භෝජන සංග්‍රහයට නොදන්වා ම පැමිණියේ ය |
සරණාගතයන් එතුමා ගේ හදවත ගැඹුරේම සිටි ප්‍රජාවකි. සුදොතුම් පියතුමා වී එතුමා රෝමයෙන් පිටත කල පළමු සංචාරය වුයේ මධ්‍යධරණී මුහුදේ ඉතාලිය ආසන්නයේ පිහිටි ලම්පඩූසා දූපතයි. අප්‍රිකා මහාද්වීපයේ සිට යුරෝපයට මුහුදෙන් එන සරණාගතයන් කණ්ඩායමකගේ අනාරක්ෂිත යාත්‍රාවක් මේ දූපත අසලදී ගිලී සියයකට ආසන්න පිරිසක් -දරුවන් ද ඇතුළුව- මිය ගියහ. එම දූපත අසල යාත්‍රාව මුහුදුබත්වූ තැනට ගිය එතුමා මල් කලඹක් මුහුදට දමා එතැන් සිට යාච්ඥා කළේය. "සරණාගතයන් යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මයි" එතුමා ලෝකයට දුන් පණිවිඩය එයයි.
![]() |
ග්‍රීසියේ ලෙස්බොස් දූපතේ දී සිරියානු සරණාගතයන් සනසමින් |
ප්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කල ක්‍රිස්තුන් වහන්සේ ගේ ඉගැන්වීම් අතර ලාසරස් සහ ධනවතා, යහපත් සමරිතානයා සහ අන්තිම විනිශ්චය පිලිබඳ දේශනාව ප්‍රමුඛස්ථානය ගත්තේය.
අපේ පොදු නිවහන - මිහිතලයේ වැලපිල්ලට යොමු වූ සවන
ශුද්ධ බයිබලයට අනුව දෙවියන් වහන්සේ මිනිසා මවන්නට පෙර දින පහක් පුරාම මැව්වේ අප අද 'පරිසරය' යයි කියන සොබා දහමයි. ඊට හේතුව ඒ පරිසරයෙන් තොරව මිනිසාට ජීවත් විය නොහැකි නිසාය. එහෙත් කාර්මික විප්ලවයේ සහ තරගකාරී ධනේශ්වර ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස එම පරිසරය ක්‍රමයෙන් මිනිසාට අහිතකර වන තත්වයට පැමිණ තිබේ.
වසර දෙදහසකට වැඩි කාලයක් මේ යතාර්ථය කතෝලික දේවධර්මයේ අවධානයට යොමු වී තිබුනේ නැත. විද්‍යා අංශයෙන් ඉගෙන යෞවනයේ රසායනවේදියකු ලෙස වැඩකළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ව්‍යසනය තේරුම් ගත්තේය. මේ අනුව මිහිතලය අනාගත පරම්පරාව වෙනුවෙන් රැකදීමේ අරමුණින් එතුමා "වේ ප්‍රශංසා" නම් විශ්ව ලේඛනය නිකුත් කළේය. මෙය කතෝලික සභාව පරිසරය ගැන කතා කල ප්‍රථම වතාව වුවද එය ප්‍රබල ප්‍රකාශනයකි.
මේ ප්‍රකාශනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මිනිස් අප උපදින මියයන මිහිතලය හඳුන්වන්නේ "අපේ පොදු නිවහන" ("our common home") යනුවෙනි. පොළොව , ජලය, සහ වාතය දුෂණය වීම නිසා මාරාන්තික ලෙස තුවාල වී වේදනා විදින මිහිතලයේ වේදනාව එතුමා හඳුන්වන්නේ "මිහිතලයේ විලාපය" (Cry of the earth) ලෙසයි. දෙවියන් වහන්සේ ගේ මැවිල්ල වන මිහිතලයේ මේ විලාපයට විශේෂයෙන් ම කිතුනු ජනතාව සවන් දිය යුතු බව එතුමා අවධාරනය කරයි.
ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙම විශ්ව ලේඛනය 2015 පැරිස් කාලගුණ විපර්යාස සමුළුව ශක්තිමත් කිරීමට පාදක කරගන්නා ලද එක් ලියවිල්ලකි.
ඊට අමතරව 2019 දී පවත්වන ලද ඇමසෝන් රදගුරු හිමිවරුන් ගේ සාංගමනික සමුළුවේ (Synod) ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර තිබුනේ එම කලාපයේ පාරිසරික ගැටළු වෙතය. විශේෂයෙන් ම ඇමසෝන් වැසි වනාන්තරයේ වැදගත් කම සහ විවිධ ආපදා වලින් එය ආරක්ෂා කරගැනීම පිළිබඳව එහි දී සාකච්ඡා කෙරිණි.
මිහිතලය ගැන කතා කරන ප්‍රැන්සිස් සුතුම් පියතුමා තවත් වැදගත් විප්ලවීය ඉගැන්වීමක් ඉදිරිපත් කරයි. එනම් "දුප්පතුන් ගේ ගේ වැලපිල්ලත් මිහිතලයේ වලපිල්ලත් එකම කාසියේ දෙපැත්ත" බවයි. පරිසරයේ වලාපිල්ලටත් දුප්පතා ගේ වැලපිල්ලටත් එක සමානව විසඳුම් සෙවිය යුතුය.
Comments
Post a Comment