"මමත් මේ වරදේ කොටස් කාරයෙක් වුණා. මම මේ ප්‍රශ්නය ඇති කළා" - පාප් වහන්සේටත් වැරදි සිදුවන් බව බැහැපත්ව පිළිගෙන සමාව ඉල්ලූ ප්‍රථම පාප් වහන්සේ - පූජකවරුන් ගේ ළමා අපචාර වලට එරෙහිව එතුමන් ගේ සටන
(2025 අප්‍රේල් 24)
අද ලෝකයත් අපේ රටත් විවිධාකාර ගිනිදැල් වලින් දැවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙක් -විශේෂයෙන් නායකත්වය දරන පුද්ගලයන් - වැරැදි කර කර, ඒවා වැරැදි බව පෙනි පෙනී, එම වැරැදි පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. වැරැදි පිළිගැනීම වෙනුවට මේ පුද්ගලයන් කරන්නේ එම වැරැදි, හරි දේ ලෙස - නිවැරැදි දේ ලෙස- පෙන්වීමේ පහත් -ඇතැම් විට සාහසික - උත්සාහයන් හි නිරත වීමයි. මේ නිසා ලෝකයත් අපේ රටත් වැරැද්දේ , අයුතුකමේ, දූෂණයේ ප්‍රපාතය දෙසට ඇදී යමින් තිබේ.
වැරැද්ද නොපිළිගැනීමේ ව්‍යාධිය දක්නට ලැබෙන්නේ හුදෙක් ලෞකික නායකත්වය තුළ පමණක් නොවේ. ආගමික නායකත්වය තුළ ද එය, ඇතැම් විට ලෞකික නායකත්වයටත් වඩා දරුණු ලෙස, දක්නට ලැබේ.
එහෙත් මේ සාමාන්‍ය යථාවට ප්‍රතිවිරුද්ධ ආදර්ශවත් විශිෂ්ට ක්‍රියාවක් දෙයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළේය. එනම් තමා අතින් "බරපතල වරදක් සිදු වූ බව" එතුමා - එනම් ලොව පුරා බිලියන 1.28ක් වන කතෝලික ජනතාවගේ නායකයා - පිළිගැනීමයි. එපමණක් නොව "මට සමාවෙන්න" යි අවංකව, නිහතමානීව ඉල්ලා සිටීමයි.
"මමත් මේ වරදේ කොටස් කාරයෙක් වුණා. මම මේ ප්‍රශ්නය ඇති කළා. මට හුඟක් කනගාටුයි. මට සමා වෙන්න." (“I was part of the problem! I caused this. I am very sorry, and I ask your forgiveness,”)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ පැවැසුවේ චිලීයේ කතෝලික පූජකවරයකු ගේ අතවරයට ලක්වූවන් තිදෙනෙකු 2018 දී වතිකානයේදී එතුමන් මුණගැසුණු අවස්ථාවේදීය. සුදොතුම් පියතුමා ගේ ආරාධනය අනුව රෝමයට පැමිණි ඔවුන් එතුමා මුණගැසුණේ පෞද්ගලිකව තනි තනිවය. එතුමා සන්සුන්ව ඔවුන් එක් එක් කෙනාට සවන් දුන් කාලය පැය දෙකහමාරත් තුනත් අතර දීර්ඝ කාලයක් වූ බව වතිකානය වාර්තා කළේය.
සිද්ධියේ පසුබිම
චීලිය කතෝලික රටකි. එරට කතෝලික සභාව දැඩි ලෙස කම්පනය කොට සභාව කෙරෙහි විශ්වාසය පලුදු වන සිද්ධියකින් දශකයක පමණ කාලය තුළ රට කැළඹී තිබිණි. එනම් ළමා අපචාර සම්බන්ධයෙන් පූජකවරුනට නැගුනු චෝදනායි. මේ අතරින් චෝදනා රැසක් නැගී තිබූ කෙනෙකු වූයේ ආධ්‍යාත්මික මෙහෙයන් හා සුව මෙහෙයන් ගැන ජනතා ගෞරවයට ලක්ව සිටි ෆර්නැන්ඩෝ කරදීමා පියතුමාය. එහෙත් මෙලෙස චෝදනා නැගෙද්දී ඒවා ගැන ස්වාධීනව සොයා බලා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා සඟවා තබා ගනීමටත් අදාළ පියතුමන්ලා ආරක්ෂා කිරීමටත් එරට සභාව බොහෝ වෙහෙස ගත්තේය. කෙසේ නමුත් පසුව කරදීමා පියතුමා සේවා වලින් ඉවත් කොට ජීවිත කාලය පුරා පශ්චාත්තාපික ජීවිතයක් ගත කිරීමට නියම කෙරිණ.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2018 දී චීලි රටේ අපෝස්තලික චාරිකාවේ යෙදුණේ මෙම 'කුණාටුව' එරට පුරා තවමත් හමා යමින් තිබියදීය. ළමා අපචාර චෝදනා ගැන විශ්ව සභාව නිසි ක්‍රියාමාර්ග නොගැනීම ගැන එරට ජනතාවත් විශේෂයෙන්ම එම අතවරවලට ලක්ව යුක්තිය ඉල්ලමින් සිටි පිරිසත් ප්‍රශ්න කරමින් සිටියහ. ඒ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද මෙම චෝදනාවට අනියමින් කොටු වී සිටියේය. ඊට හේතුව මෙයයි.
චිලියේ ත්‍රිවිධ හමුදා කලාපය භාර රදගුරු තුමා වූ හුවාන් බොරෝස් රදගුරුතුමන් සුදොතුම් පියතුමන් විසින් ඔසෝනෝ පදවියේ රදගුරුතුමන් ලෙස පත් කරනු ලැබිණ.ඒ වන විටත් එතුමාට එරෙහිව ළමා අපචාර සම්බන්ධව චෝදනා එල්ල වෙමින් තිබුණේය. ඊට ගොදුරු වූවන් කියා සිටියේ ෆර්නැන්ඩෝ කරදීමා පියතුමා තමන් අතවරවලට ලක්කරන විට (එකල කනිෂ්ඨ පියතුමෙකුව සිටි) බොරෝස් රදගුරු තුමා ඒවා දුටු බවයි. එසේම එතුමා මෙම වැරැද්ද සැඟවූ අතර කරදීම පියතුමාව ආරක්ෂා කර ආවරණය කල බවට ද ඔවුහු චෝදනා කළහ. මෙම චෝදනා නොතකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බොරෝස් රදගුරුතුමන් ඕසෝනෝවේ රදගුරු ධුරයට පත්කිරීම ගැන ඔවුහු වේදනාවට, කනස්සල්ලට සහ කෝපයට පත්වී සිටියහ.
සුදොතුම් පියතුමා එරටට සැපත්වූයේ එලෙස උණුසුම් වී තිබූ චීලි දේශයටයි.
චීලියේ පූජක ළමා අපචාර සම්බන්ධයෙන් සභාවේ ප්‍රතිපත්තිය එහිදී දැඩි විවේචනයට ලක්විය. ඊටත් වඩා බොරෝස් රදගුරු තුමන් සම්බන්ධයෙන් චීලි මාධ්‍යවේදීහු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගෙන් නොබියව දිගින් දිගටම ප්‍රශ්න කළහ. මෙහිදී ලෝකයේම අපේක්ෂා භංගත්වයට පත්කරන සිදුවීමක් සිදුවිය. එනම් එතුමන් පිලිබඳ බලාපොරොත්තු තබා සිටි ලෝකයම මවිත කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බෝරෝස් රදගුරුතුමන් ආරක්ෂා කරමින් කතා කිරීමයි.
"මේවා අසත්‍ය චෝදනා". " මේවා නම කෙලෙසීම්. මඩ ගැසීම්."
බොරෝස් අගරදගුරුතුමන් ගැන ප්‍රශ්න කල මාධ්‍යවේදීනට සුදොතුම් පියතුමා දුන් පිළිතුර එයයි.
මේ අතර, ආපසු ඉතාලිය බලා යන ගුවන් ගමනේදී චීලි ජාතික යොවුන් වාර්තාකාරිනියක් බිඳුණු හඬින් එතුමාගෙන් මෙසේ ඇසුවේය:
"මේවා අසත්‍ය චෝදනා බවට ඔබ චෝදනා කරන්නේ මොන පදනමක් මතද?"
"ඒවා සත්‍ය බවට ඔප්පු කරන්න සාක්ෂි දෙන්න...." ඊට පිළිතුරු ලෙස එතුමා කීවේය.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම පිළිතුර ලෝකය පුරා දැඩි වේදනාවේ කුණාටුවක් ලෙස හමා ගියේය. මන්ද යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ලෝකයම එතුමා කෙරෙහි දැඩි අපේක්ෂාවෙන් බලා සිටි නිසාය.
වතිකානයේ දී සිදු වූ සිත් හැරීම
එහෙත් පෙරළා ඉතාලිය බලා ගොස් එක් දිනක් තුළ සුදොතුම් පියතුමා තීරණාත්මක පියවරක් ගත්තේය. එනම්, බොරෝස් අගරදගුරුතුමාට එරෙහිව ඇති චෝදනා ගැන සාක්ෂි විමසීම සඳහා ඉහල පෙළේ පර්යේෂණ කණ්ඩායමක් චීලියට පිටත් කර යැවීමයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කරන ලද්දේ අතිශයින් අපක්ෂපාතී, අවංක සහ නීතියට ගරු කරන පරීක්ෂයකු ලෙස ගෞරවාදරයට පත්ව සිටින සභා නීති විශාරදයකු වන මෝල්ටා ජාතික චාර්ල්ස් ෂික්ලූනා අගරදගුරු හිමිපාණන් ය. සහායක පියතුමකු සමග ඇමෙරිකාව හරහා චිලියට ගිය ශික්ලූනා අගරදගුරු හිමි සතියක් එම දෙරටේ සිටින සාක්ෂි කරුවන් සහ අතවර වලට ගොදුරුවුවනට සවන් දුන්නේය. ඉන්පසුව රෝමයට පැමිණි එතුමා සිය වාර්තාව සුදොතුම් පියතුමාට බාර දුන්නේය. සම්මුඛ සාකච්චා 64කට සවන් දීමෙන් පසුව සකස් කරන ලද මෙම වාර්තාව පිටු 2,300කින් සමන්විත වී තිබිණි.
චීලි රදගුරු මණ්ඩලයට යැවූ දීර්ඝ ලියුම
ෂික්ලූනා අගරදගුරු හිමියන් ගේ වාර්තාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දැඩි පශ්චාත්තාපයට පත් කිරීමට හේතු වී තිබිණ. මන්ද, අතවරයට පත්වූවන් ගේ සාක්ෂි සහ ප්‍රකාශවල සත්‍යතාව ඒ මගින් සනාථ වී තිබීමයි.
එය කියවූ සුදොතුම් පියතුමා චීලි රටේ කතෝලික රදගුරු මණ්ඩලයට දීර්ඝ ලියුමක් ලියුවේය. ඒ ලියුම පුරා දිව ගිය අදහස මෙසේ විස්තර කළ හැකිය: "පූජකවරුන්ගේ අතවර වලට ගොදුරු වී 'කුරුසියේ ඇණගැසුම් කෑමට ' ලක්වූවන්ගේ වේදනාවත් ලැජ්ජාවත් මට දැනේ. ...මෙම තත්වය අවබෝධ කරගැනීමේදීත් තක්සේරු කිරීමේදීත්, සත්‍ය වූත් සමතුලිත වූත් තොරතුරු නොමැති වීම නිසා මා බරපතල වැරැදි සිදුකර තිබේ. ... මේ හේතුව නිසා මා විසින් සිත් රිදවන ලද සියල්ලන්ගෙන් මම සමාව ඉල්ලමි."
මේ අර්බුදය සමබන්ධයෙන් තමා වැරද්දක් කර ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිගත් පළමුවන අවස්ථාව එයයි. එසේ ම ඊට ප්‍රසිද්ධියේ (මෙම ලියුම මාධ්‍ය වෙත නිකුත් කෙරින) සහ අවංකව සමාව ඉල්ලා සිටි පළමු අවස්ථාව ද එයයි.
එසේම චීලි රදගුරු හිමිවරුනට ලියූ මෙම ලියුමේ තවත් වැදගත් කාරනා දෙකක් ද එතුමා සඳහන් කළේය.
ඉන් පළමුවැන්න මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමන් හමුවීමට රෝමයට පැමිණෙන ලෙස සියලුම රදගුරු හිමිවරුනට දන්වා සිටීමයි. "මෙම අපචාරයට පිළියම් කිරීමේ සහ යුක්තිය ඉටු කිරීමේ අරමුණින් චීලියේ ශාසනික ජීවිතය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය කෙටි-මධ්‍ය-සහ දීර්ඝ කාලීන පියවර නිශ්චය කිරීමට මට සහාය වීම සඳහා" තමන් හමුවන ලෙස එම ලිපිය මගින් එතුමා රදගුරුහිමි වරුනට දැනුම් දී තිබිණි.
එහි සඳහන් දෙවැනි සහ වැදගත් පියවර මෙයයි: එනම්, මෙම අපචාරය සම්බන්ධයෙන් තමා තුළ ඇති පශ්චාත්තාපය ප්‍රකාශ කිරීම සඳහා ඊට ගොදුරුවුවන් ගේ නියෝජිතනයට ද රෝමයට පැමිණ තමා හමුවන ලෙස ආරාධනා කරන බව එතුමා දන්වා තිබීමයි.
අපචාරවලට ලක්වූවන් සමග සුදොතුම් පියතුමන් ගේ හමුව
සිය ලියුමේ දැනුම් දී තිබු අයුරින්, චීලියේ පූජක ළමා අපචාර හේතුවෙන් දැඩිම පීඩනයට හා අසාධාරණයට ලක්ව සිටි තිදෙනෙක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ආරාධනයෙන් 2018 අප්‍රේල් මස අවසන් සතියේ වතිකානයේ දී එතුමන් හමුවූහ. මේ වන විට සන්නිවේදනය හා වෛද්‍ය වෘත්තීය යන ක්ෂේත්‍ර වල සේවය කරන මෙම තිදෙනා හුවාන් කාලෝස් කෘස්, ජේම්ස් හැමිල්ටන් සහ හොසේ අන්ද්රෙස් මුරියෝ යි.
සුදොතුම් පියතුමා මුලින් මේ තිදෙනා හමුවූයේ තනි තනිවමයි. කාර්ය බහුල පුද්ගලකු වුවත්, එම දිනවල එතුමා වෙනත් කිසිදු කටයුත්තක් සිය දිනපොතට ඇතුලත් කරගෙන තිබෙනේ නැත. අවශ්‍ය තරම් කාලයක් ඔවුන් සමග ගත කිරීමට එතුමාට අවශ්‍ය වී තිබිණ. මේ තිදෙනා සමග වෙන වෙනම එතුමා පැය දෙකහමාරක තුනක පමණ කාලයක් ගත කළේය. ඉන් අනතුරුව තිදෙනාම එකට මුණගැසුණේය.
ඒ සියලු හමුවීම් වලින් පසුව එම තිදෙනා රෝමයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ඉතාලි සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 100කට අධික පිරිසක් එක්වූ මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් තිදෙනාටම පොදුවේ කීමට දෙයක් තිබිණි. එනම්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තමන් අතින් වැරැද්දක් සිදුවූ බව අවංකව, බැහැපත්ව එමෙන්ම මහත් පසුතැවිල්ලෙන් යුතුව පිළිගත් බවයි. එසේම එතුමා ඊට තමන් ගෙන් සමාව අයැද සිටි බවයි.
"මමත් මේ වරදේ කොටස් කාරයෙක් වුණා. මම මේ ප්‍රශ්නය ඇති කළා. මට හුඟක් කනගාටුයි. මට සමා වෙන්න." (“I was part of the problem! I caused this. I am very sorry, and I ask your forgiveness,”) යයි එතුමන් තමන්ගෙන් ඉල්ලා සිටි බව හුවාන් කාලෝස් කෘස් මාධ්‍ය කරුවනට කියා සිටියේය.
සභාවේ සතුරන් ලෙස සලකන ලද වින්දිතයන්ට යුක්තිය
තමන්ට පූජකවරුන් අතින් සිදුවූ වරද සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා ඔවුන් මොරගසන විට චීලි කතෝලික නායකත්වය විසින් ඔවුන් සලකන ලද්දේ සතුරන් ලෙසය. මේ නිසා, සභාව ගැන ඔවුන් තුළ හටගෙන තිබුනේ ප්‍රේමයක් හෝ පහන් හැඟීමක් හෝ නොවේ. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ ප්‍රේමයේ ක්‍රියාව සභාව ගැන තිබු එම ආකල්පය ඉවත් කිරීමට හේතු වූ බව එම තිදෙනාම කියා සිටියහ.
"සභාවේ ළමා අපචාර සහ ඒවා වසා ගැනීමට සභාව දැරූ වෑයමට එරෙහිව අප සටන් කල නිසා වසර 10ක පමණ කාලයක් සභාව විසින් අප සලකන ලද්දේ සතුරන් ලෙසය. එහෙත් මේ දින කිහිපය තුළ අපට සභාවේ මිත්‍රත්වයේ මුහුණ මුණගැසිණ. එම මුහුණ මෙතෙක් අප දුටු මුහුණට වඩා හාත්පසින්ම වෙනස් එකකි" යි මාධ්‍ය හමුව ආරම්භයේ ඔවුන් තිදෙනාගේම අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයේ සඳහන් කර තිබිණි.
මීට කලින් සුදොතුම් පියතුමා බොරෝස් රදගුරුතුමන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරද්දී තමන්ගේ සිත් රිදුනු බව කෘස් කීවේය. එහෙත් එතුමා එසේ කලේ එතුමාට නිවැරැදි තොරතුරු ලැබී නොතිබූ නිසා යැයි මේ හමුවේදී වැටහුණු බව ඔහු සඳහන් කළේය. චාර්ල්ස් ෂික්ලූනා අගරදගුරු හිමියන් ගේ වාර්තාවෙන් සැබෑව දැනගත් පසුව එතුමා නිහතමානීව සියල්ල නිවැරදි කරීමට ගන්නා ප්‍රයත්නය ඔහුගේ ප්‍රශංසාවට ලක්විය.
"පාප්තුමන් සමග අවංකව, ගෞරවයෙන් යුතුව කතා කරන්නට අප හැම කෙනකුටම පුළුවන් වුනා. පූජක ලිංගික අපචාර, බලය අයතු ලෙස භාවිත කිරීම, වැරැදි සැඟවීමට සහ ආවරණය කිරීමට උත්සාහ කිරීම වැනි දුෂ්කර කාරනා ගැන අපි කතා කළා. අප හිතන හැටියට මේවා පව් නොවේ. මේවා අප දකින්නේ අපරාධ සහ දුෂණ ලෙසයි."
"මේ දීර්ඝ මුණගැසීම් වලදී සුදොතුම් පියතුමා ඉතා සාවධානව, උණුසුම් පිළිගැනීමෙන් යුතුව, අවධාරණයෙන් යුතුව සිටියා. ...අප සෑම කෙනෙකුගෙන්ම එතුමා පෞද්ගලිකවත්, විශ්ව සභාව වෙනුවෙනුත් සමාව ඉල්ලා සිටියා. අප එතුමාගේ මෙම ක්‍රියාව පිලිගන්නවා. එය අගය කරනවා. අපමණක් නොවේ. මේ දිනවල අප ලැබූ දැවැන්ත ත්‍යාගශීලිත්වය සහ ආගන්තුක සත්කාරය අප මහත්සේ අගය කරනවා." යනුවෙන් ඔවුන් නිකුත් කල නිවේදනයේ සඳහන් විය.
තමන් සුදොතුම් පියතුමන් සමග පැවති සංවාදයට පැය තුනක් ගත වූ බව හුවාන් කෘස් කීවේය. "මේ තරම් තමන් කියන දේ ගැන පසුතැවිල්ලෙන් කතා කරන කෙනෙක් මට කවදාවත්, කවරම දාකවත් හමුවෙලා නැහැ. සුදොතුම් පියතුමා එතුමා ගේ ක්‍රියාව ගැන අවංකවම මා ඉදිරියේ කනගාටු වුනා. මේ ප්‍රශ්නය එතුමාවත් රිදවන බව මට හොඳටම පැහැදිලි වුනා. මට එය ගාම්භීර මොහොතක් වුනා" යි චීලි රූපවාහිනී සේවා ඔස්සේ සජීවීව ප්‍රචාරය කරන ලද එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය.
උදර රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු වන ජේම්ස් හැමිල්ටන් කියා සිටියේ එය "ඉතා හොඳ, ඉතා ගෞරවනීය, අවංක, සිත් සුවපත් වන" (“very good, very respectful, very sincere and a healing encounter.”) හමුවක් බවයි.
" මේ ගැටලුවට විසඳුම් සෙවීමට එතුමාට උදව් කරන ලෙසත් එතුමා වෙනුවෙන් යාච්ඥා කරන ලෙසත් සුදොතුම් පියතුමා අපෙන් ඉල්ලා සිටියා. අපට සැබෑ මනුෂ්‍යයෙක් මුණගැසුනා" ඔහු අවධාරණයෙන් කියා සිටියේය.
දැඩි පියවර
ඉන් දින කිහිපයකට පසුව චිලි රදගුරු මණ්ඩලය සුදොතුම් පියතුමා මුණගැසී එතුමාගෙනුත් සිය රටේ ජාන්තාවගෙනුත් සමාව ඉල්ලා සිටියේය. සිය රටේ කතෝලික සභාව මත දැවැන්ත කළු පැල්ලමක් ඇති කොට සභාවේ සදාචාරාත්මක හඬේ විශ්වසනීයත්වය පලුදු කල පූජක ළමා අපචාර සිද්ධි දාමය සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසී ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමෙන් පසුව තමන් නව ගමනකට මුල පුරන බවට චීලි රදගුරු මණ්ඩලය ප්‍රතිඥා දුන්නේය.
ඉන් පසුව මේ සිද්ධිවලට් සම්බන්ධ වූ රදගුරු හිමිවරුන් ගේ ඉල්ලා අස්වීමේ ලිපි සුදොතුම් පියටුම් භාර් ගත්තේය.
ඉකුත් වසර 12 තුළ පූජක වරුන් අතින් සිදුවන ළමා අපයෝජන වැලැක්වීම සඳහා මෙන්ම එවැනි අපරාධ සිදු කලවුන්ට නිසි විමර්ශන වලින් පසුව දඬුවම් පැමිණ වීම් සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවශ්‍ය නීති සම්පාදනය කළේය.
මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තවත් වැදහත් මෙහෙවරක් බව විශ්ලේශයන් ගේ මතයයි.
Comments
Post a Comment