ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට පැමිණි වන්දනාකරුවන්ට සුබ පතන්නට පැමිණෙයි (Video) Holy Father greets pilgrims on Palm Sunday in Saint Peter's Square
(2025 අප්‍රේල් 13)
අප්‍රේල් 13 ඉරිදා ලොව පුර විවිධ ප්‍රදේශ වලින් වන්දනාකරුවෝ 20,000 කට අධික පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ. ඔවුන් අත ගොබ් සහ ඔලිව් අතු 250,000ක් පමණ ලෙල දෙමින් තිබුණු බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි.
ඔවුන් මෙසේ රැස්වී සිටියේ සමිඳුන් ගේ දුක්ප්‍රාප්තියේ ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීම සඳහාය. ශුද්ධවූ සතිය ආරම්භ කෙරෙන මේ දිව්‍ය පූජාව සාම්ප්‍රදායිකව පවත්වනු ලබන්නේ ශුද්ධෝත්තම පියතුමන් ගේ ප්‍රධානත්වයෙනි. එහෙත් මෙවර එතුමන්ට ඊට සහභාගී වීම නොහැකි වීම නිසා එය පවත්වන ලද්දේ කාදිනල් හිමිවරුන් ගේ කුලයේ උප නායක ආජන්ටිනා ජාතික ලියොනාඩෝ සැන්ඩ්‍රි කාදිනල් හිමිපාණන් විසිනි. වතිකානයේ සිටින කාදිනල් හිමිවරුන් 36 නමක්, රදගුරු හිමිවරුන් 30 නමක් සහ පුදැදුරුතුමන් 300කට වැඩි පිරිසක් සහභාගී වූහ.
වැස්ස නැවතිලා - හිරු පායලා
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මේ සතියේ කවර හෝ අවස්ථාවකට එක් වේවිද යන්න ගැන මාධ්‍ය ආයතන වතිකානයෙන් විමසා තිබුණත් ඊට පිලිතුරක් ලැබී තිබුණේ නැත.එහෙත් එතුමා ඉකුත් සතියේ අවස්ථා කිහිපයක සියල්ලන් මවිත කරමින් ජනතාව අතරට පැමිණි නිසා ගොබ් ඉරිදා කවර හෝ මොහොතක එතුමා පැමිණෙනු ඇතැයි වන්දනාකරුවන් තුල බලාපොරොත්තුවක් තිබිණ. කෙසේ වුවත් උදාසන සිටම අහස වලාකුළුවලින් බරව පැවති අතර තරමක තද සුළඟ ගෙන ආ සීතලත් ඉඳ හිට වැටුණු පොද වැස්සත් නිසා එම බලාපොරොත්තු පවා බොඳ වෙමින් තිබිණි. එහෙත් දිව්‍ය පූජාව අවසන් වෙද්දී වලාකුළු පහව ගොස් අහස පැහැදිලි විය. හිරු එළියෙන් රෝමය නැහැවෙන්නට විය.
පූජාවට එක්වූ සියල්ලන් සතුටට පත් කරමින් දිව්‍ය පූජාව අවසන් වෙද්දී සුවය ලබමින් සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දිව්‍ය පූජාව පවත්වන ශුද්ධ මණ්ඩපයට පැමිණියේය. එතුමා පැමිණියේ පූජාවේ අන්තිම ආශීර්වාදය අවසන් වූ වහාමයි.
එහි සිට ජනතාව ඇමැතූ එතුමා "ඔබට යහපත් ගොබ් ඉරිදාවක් වේවා ! යහපත් ශුද්ධ වූ සතියක් වේවා !" (Buona Domenica delle Palme! Buona Settimana Santa!) යි සුබ පැතුවේය.
එතුමාට ඔක්සිජන් ලබා දුන් නාසික නල මෙවර දක්නට නොතිබිණි. ජනතාවට කතා කිරීමෙන් පසුව එතුමා වන්දනාකරුවන් අතර සැරිසරමින් එහි සිටි කාදිනල් හිමිවරුන්ටත්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ටත් වන්දනා කරුවන්ටත් සුබ පතමින් ගමන් කළේය.
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා විනාඩි දහයකට මඳක් වැඩි කාලයක් ජනතාව අතර සිටියේය. ඉන් පසුව එතුමා සාන්ත පීතර බැසිලිකාව තුළට ගියේය.
බැසිලිකාවට
බැසිලිකාවේදී එතුමා එහි පොළොව යට ඇති සාන්ත පේදුරු අපෝස්තුළු තුමන් ගේ සහ දසවැනි පියුස් පාප්තුමන් ගේ සිරුරු මිහිදන් කර ඇති තූබ ඉදිරියේ සිට මඳ වෙලාවක් යාච්ඥා කල බව වතිකාන මාධ්‍ය අංශය වාර්තා කරයි.
ඉකුත් සතිය
ගත වූ සතියේ ශුද්ධෝත්තම පියතුමා මෙලෙස කිහිප වරක් ජනතාව අතරට පැමිණියේය.
මුලින්ම එතුමා දකින්නට ලැබුනේ අප්‍රේල් 6 දිනට යෙදුනු රෝගීන් සහ සුව සේවකයන් ගේ ජයන්තිය අවසන් කරමින් පැවැත්වුණු දිව්‍ය පූජාව අවසානයේ ය. එදිනද එතුමා ඊට එක්වෙමින් සිටි රෝගීන් අතර ගමන් කළේය.
සතිය මැද එතුමා හදිසියේ ම සාන්ත පීතර බසිලිකාවට පැමිණ සාන්ත දසවැනි පියුස් පාප්තුමන් ගේ තුබය ඉරියේ යාච්ඥා කළේය. එතුමා ආපසු යන විට එතුමන් පැමිණි බව ආරංචි වූ ජනතාව එතුමා වටා රැස්වී සුබ පතන්නටත් ඡායාරුප ගන්නටත් පටන් ගත්හ.
යළිත් සෙනසුරාදා එතුමා රෝමයේ ප්‍රමුඛ බැසිලිකා පහෙන් එකක් වන සාන්ත මරිය මැජෝරේ දෙව්මදුරට ගියේය. මේ දෙව්මැදුරේ අතු පල්ලියේ ඇති රෝමයේ ආරක්ෂිකාව වන අප ස්වාමිදුව ගේ අයිකනය කෙරෙහි ප්‍රන්සිස් සුදොතුම් පියතුමා මහත් ආදර භක්තියක් දක්වයි. එදින එහි ගිය එතුමා එම පින්තුරය ඉදිරයේ සිට බොහෝ වෙලාවක් නිහඬව යාච්ඥා කළේය.
Comments
Post a Comment